අයං, ඉමං, ඉමේසං :- යන්නෙන් පෙන්වා දෙන්නේ ‘මේ’, ‘මෙහි’ යන අරුතයි. එලෙසට තථාගත දේශනාව තුළ දක්නට ඇත. මෙලෙස පෙන්වා දෙන්නේ යම් විග්‍රහයක දී, එම විග්‍රහයට සීමා කිරීමටයි. නැතිනම් එම විග්‍රහයම ඉස්මතු කිරීමටයි. එය ප්‍රායෝගිකත්වයක දැකීමක් (ප්‍රඥාවෙන් දැකීමක්) නොවේ. අදාල විග්‍රහය ඉස්මතු කිරීමයි.

‘අයං දුක්ඛං අරියසච්චං, ඉදං දුක්ඛ සමුදයං…..’ ලෙස පෙන්වමින් එම විස්තරය පෙන්වා දී ඇත. එම විස්තරය ඉස්මතු කොට පෙන්වීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා ඇත.

‘අයං රූපස්ස අස්සාදෝ’ ලෙසත් පෙන්වන්නේ එම ආශ්වාදය කුමක්ද කියා විග්‍රහ කිරීමට යි. අයං රූපස්ස ආදීනවෝ, අයං රූපස්ස නිස්සරණං ලෙසත් එම විග්‍රහයන් ඉස්මතු කිරීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා දී ඇත. යම් පරියායක් නිවැරදිව ව්‍යඤ්ජන ගනිමින් ඉගෙන ගන්නේ නැති නම්, සත්‍ය දැකීමට යොමු නොවේ. එබැවින් එම පරියාය ඒ විදියට ම පෙන්වීමට ‘අයං, ඉදං’ ලෙස පෙන්වා ඇත.

ඉති : ලෙස පෙන්වා දෙන්නේ ‘මෙසේ ‘ යන්න පැහැදිලි කිරීමට යි. එවිට අවස්ථාවක් හෝ යමක් පෙන්වීම ඉක්මවා සිදුවීමක් (ක්‍රියාවක්) පෙන්වා ඇත. එයින් යමක් ඉස්මතු නොවේ. සත්‍ය දැකීම පමණක් ම පැහැදිලි වේ.

ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ ආදී ලෙස ගෙනහැර දක්වා ඇත.

‘මෙසේ රූපය යි’, ‘මෙසේ රූපයේ හට ගැනීම යි’.

‘මෙසේ රූපයේ නැතිවීම යි’ යන්නයි. නමුත් ‘මේ රූපය’ ලෙස විග්‍රහ කළොත් සම්පූර්ණයෙන් ම වැරදියි.

උදා:- මෙසේ කරන්න, මෙසේ යන්න, මෙසේ ඉන්න යනු අවස්ථාවක් පෙන්වීම නොවෙයි. ක්‍රියාවක් පෙන්වීමයි. ‘මෙසේ’ රුප්පනය, ‘මෙසේ’ විඳීම, ‘මෙසේ’ හඳුනාගැනීම, ‘මෙසේ’ සකස් වීම, ‘මෙසේ’ දැන ගැනීම ලෙසයි.

‘මේ’ යන්න, ‘මේ’ කරන්න ආදී ලෙස නො යෙදේ. ‘මේ’ පුටුව, ‘මේ’ පෑන, ‘මේ’ පොත ලෙසට යමක් පෙන්වීම ඉස්මතු වේ. ‘මේ’ විස්තරය, ‘මේ’ පරියාය, ‘මේ’ ව්‍යඤ්ජනය ලෙස පැහැදිලි වේ. ‘මෙසේ පරියාය’ යනුවෙන් නොයෙදේ. එයට ක්‍රියාවක් අවශ්‍ය වේ.

‘මෙසේ පරියාය’ ඉගෙන ගන්න, ‘මෙසේ පරියාය’ දැනගන්න. එවිට ඉගෙන ගැනීමට, දැනගැනීමට ‘මෙසේ ‘ ඇතුළත් වේ. ‘මේ’ පරියාය ඉගෙන ගන්න, ‘මේ’ පරියාය දැනගන්න කියූ විට ‘මේ’ යන්න පරියායට ඇතුළත් වේ. රූප, වේදනා ආදියෙහි විස්තරයට ‘මේ’ යන්න පෙන්විය හැකිමුත් රූප, වේදනා ආදියට ‘මේ’ යන්න පෙන්විය නොහැක. එයට ‘මෙසේ ‘ ලෙස පමණක් යෙදේ.

‘මේ පාට’ හඳුනාගන්නවා.

‘මෙසේ පාට’ හඳුනාගන්නවා.

‘මේ’ ලෙස යෙදූ විට එය පාටට ඇතුළත් වේ. ‘මෙසේ’ යන්න යෙදූ විට එය හඳුනාගැනීමට ඇතුළත් වේ. පංච උපාදානස්කන්ධ උදය-වය දැකීම විග්‍රහ කරන්නේම ‘මෙසේ’ යන්නයි. එවිට ‘මේ’ යන අවස්ථාව ඉක්මවයි.

එමෙන්ම සතිපට්ඨාන සූත්‍රය තුළත් “ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති.” ලෙස විග්‍රහ වේ. එතනත් ‘මේ’ ලෙස පෙන්වා දී නැත. ‘අයං, ඉදං , ඉමේසං’ ලෙස නොමැත. ‘මේ’ ආධ්‍යාත්මය හෝ බාහිර ලෙස ගත් විට යමක් පෙන්වා ඇත. එවිට ‘මේ’ ලෙස ගත් දෙය සෙවීම පැහැදිලි වේ. නමුත් ‘මෙසේ ‘ යන්න යෙදූ විට එය කරන දෙයට අදාල වේ.

‘මේ’ අධ්‍යාත්මයේ කයෙහි කය අනුව දකී.

‘මෙසේ’ අධ්‍යාත්මයේ කයෙහි කය අනුව දකියි.

‘මේ’ යෙදූ විට ආධ්‍යාත්මයට ලං වී යමක් පෙන්වයි. ‘මෙසේ’ යෙදූ විට කයෙහි කය අනුව ‘දැකීමට’ ලං වේ. එවිට ‘යමක්’ ඉස්මතු නොවේ. එම දකින ක්‍රියාව ම ඉස්මතු කරයි. එවිට මාර්ගය ම ඉදිරිපත් වේ. මාර්ගය යනු ගමන් කිරීමයි.

උදා:- ගෙදර වාසය කරමි.

මාර්ගයේ ගමන් කරමි.

මාර්ගය යනු ගමන් කිරීමට වේ. ගෙදර යනු වාසය කිරීමයි. මාර්ගය ලෙස ඉස්මතු වූ විට ගමන් කිරීම ම ප්‍රකට විය යුතුයි. මාර්ගයේ වාසය නොකරයි. එබැවින් සතිපට්ඨාන සූත්‍රය තුළ මාර්ගය ම ප්‍රකට කර ඇත. එහි කිසිම විටක ‘යමක්’ පෙන්වමින් එහි සිටීම හෝ එයින් ඉවත්වීම පෙන්වූයේ නැත. තථාගතයන් වහන්සේ මාර්ගය ම පෙන්වූහ.

ඉති ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.

ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති.

ආර්ය න්‍යාය පෙන්වන විටත් ‘ඉති’ ‘මෙසේ’ ලෙස පෙන්වා එහි අර්ථය හැටියට ‘ඉමස්මිං සති’ ලෙස පැහැදිලි කර ඇත.

‘මෙසේ’ ‘මෙය’ ඇති කල්හි ‘මෙය’ වේ,

‘මෙය’ උපදින කල්හි ‘මෙය’ උපදී,

‘මෙය’ නැති කල්හි ‘මෙය’ නොවේ,

‘මෙය’ නූපන් කල්හි ‘මෙය’ නූපදී.

“තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවෝ හෝති” යනුවෙන්ද පැහැදිලි වන්නේ එයින් හටගැනීම යන්නයි. මෙහිදී සම්පූර්ණයෙන් ‘මේ’ යන්න වැරදි බව ප්‍රකට කර ඇත.

උදා:- ‘මේ’ කඩදාසි ම නිසා ‘අර’ පොත වේ. ‘මේ’ කඩදාසි නිසා ‘මේ’ පොත ලෙස පෙන්විය නොහැක. එලෙසට පෙන්වන්නේ නම් ‘මේ කඩදාසි බවත්’ ‘මේ පොත බවත්’ කතා කළ නොහැක. ‘මේ මැටි ම’ ‘මේ කෝප්පය’ ලෙස නොලැබේ. ‘මේ මැටි ම’ ‘මේ කෝප්පය’ ලෙස විග්‍රහ කරන විට ‘කෝප්පයත්’ ‘මැටිත්’ යන දෙකම නිශ්ප්‍රභා වේ. මන්ද යත් කෙසේ නම් ‘මේ’ ලෙස දෙකක් පෙන්විය හැකිද? එවිට කෝප්පය හා මැටි පමණක් නොව, පෙන්වීම ද ඉක්මවයි. කෙසේ පෙන්වන්නද?

‘මේ මැටි ඉපදීමෙන්’ ‘මේ කෝප්පය ඉපදේ’. මෙම කියමන තුළ ම ‘මේ’ ලෙස පෙන්වීමේ ම වැරැද්දත්, පෙන්වූව නොයෙදීමක් සිදු වේ. එය ඉක්මවීම මයි.

එමෙන්ම ‘මෙය ඇති කල්හි මෙය වෙයි’ ලෙස යොදන විට එම යෙදීම තුළ ම ‘මෙය’ද ‘පෙන්වීමක්’ ද ඉක්මවයි. ‘මේ’ නම් වූ අවස්ථාව ම යොදා ගනිමින් ‘මේ’ නම් වූ අවස්ථාව ම ඉක්මවීම, මාර්ගය හැටියට පැහැදිලි කර ඇත. එම මාර්ගය ම ‘මෙසේ’ යන්න පැහැදිලි කර ඇත.

තථාගතයන් වහන්සේ පෙන්වූ දහම ඒ විදියට ම ඉගෙන නොගත හොත්, කිසිදාක දහම දැකිය නොහැක. සත්‍ය සෙවීමේ හැඟීම තුලින්ම දහම එලෙසට ඉගෙනගත යුතුය.

තෙරුවන් සරණයි!

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි

2020.04.29