අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ විසින් අරණ පුවත්පතෙහි පලකරනලද ලිපි පෙළ

සක්කාය දිට්ඨිය දුරුකිරීම – 1

“බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගයේ දී මුලින් ම සිදු වන්නේ සක්කාය දිට්ඨිය ප්‍රඥාවෙන් දැනගෙන එය ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙළ වේ. එලෙස සක්කාය දිට්ඨිය ප්‍රඥාවෙන් දැනගැනීම සඳහා විමුක්තිකාමි නොවන සමාජයක ජීවත්වන අපට එකල පැවැති සමාජයීය පසුබිම හා විමුක්තිකාමී වැඩපිළිවෙළවල් දැනගැනීම වැදගත් වේ. ඒ හරහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ, බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ආවේණික ප්‍රතිපදාව වෙන්කර දැනගැනීමට පහසු වේ. මේ ආකාරයට සක්කාය දිට්ඨිය ප්‍රඥාවෙන් දැනගෙන ප්‍රහාණය කරන ආකාරය මෙම ලිපි පෙළ තුළින් ඉදිරිපත් කරනු ලැබේ.”

මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා.

නූතන ලෝකයේ ජීවත් වන මිනිසුන් තම තමන්ගේ සුඛ විහරණය ඇති කරගැනීමටත් කායික හා මානසික දුක් පීඩා දුරු කරගැනීමටත් කුඩා කාලයේ සිටම අධ්‍යාපන රටාවකට හුරු වෙමින් නවීන විද්‍යාවට අනුගත වෙමින් භෞතිකත්වය පාදක කරගෙන විවිධ කටයුතුවල යෙදෙමින් සිටිති. භෞතිකත්වය මූලික කරගෙන තම තමන් මානසිකව සිතන මට්ටම අනුව එකිනෙකා එම ආශ්වාදය විවිධාකාරයෙන් භුක්ති විඳිමින් සිටිති. කොපමණ ආශ්වාදයක් භුක්ති වින්ද ද එයින් කිසි ලෙසකින් කිසිවෙක් කිසි දිනෙක සෑහීමකට පත් වන්නේ ද නැත. එලෙසට සෑහීමකටපත් නොවන්නේ ම මානසික සැනසිල්ල භෞතිකත්වය මත පාදක කර ගන්නා නිසාය. භෞතික දේ පාදක වෙමින් කාමයන්ගෙන් ලැබෙන සැපය ද වෛද්‍ය විද්‍යාව තුළින් කායික මෙන්ම මානසික නිරෝගීකම් වලට විවිධ ක්‍රම උපායන් යොදා ගනිමින් කරන කටයුතු වලින් ද ස්ථිරසාර සැනසිල්ලක් ඇති නොවේ. එනමුදු නූතන මිනිසා එයම තවදුරටත් කරමින් ස්ථිරසාර සැනසිල්ලක් බලාපොරොත්තු වේ. 

විමුක්තිකාමී සමාජය:

අතීතයේ මෙන්ම වර්තමානය තුළ ද දඹදිව සමාජය තුළ වෙනස්ම වූ ආකාරයකට සැනසීමක් සොයයි. එය එම සමාජයට ආවේණික වූ ලක්ෂණයක් නිසාය. බඹසරවිසීම, සිහිය පැවැත්වීම හා දක්ෂතාවය අතින් දඹදිව අග්‍ර වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. 

සූරා, සතිමන්තො, ඉධ බ්‍රහ්මචරියවාසො. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ඨානෙහි ජම්බුදීපිකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙති.( සූ.පි., අඞ්ගුත්තර නිකාය, නවක නිපාතය, ඨාන සූත්‍රය)

“උතුරුකුරු මිනිසුන්ට තව්තිසා දෙවියන්ට වඩා ශූරත්වයෙන්, සතිමත්බවින් සහ බ්‍රහ්මචරිය වාසයෙන් යන කරුණු තුනින් දඹදිව මිනිසුන් උසස් වේ.” 

ලෝකයේ සියළුම මිනිසුන් භෞතික දියුණුවකින් සැනසීමක් සෙව්වද එය කිසිදාක ළඟ නොවන අතර කායික පහසු වියරණයක් හා කාමයන් ලබමින් අතෘප්තිමත්ව මරණයට පත්වේ. එනමුදු ජීවිතයේ සැබෑම මානසික සැනසිල්ල භෞතික දේ තුළින් ළඟාකර ගත නොහැකි බව ශූරත්වයෙන්, සතිමත්බවින් සහ බ්‍රහ්මචරිය වාසයෙන් අග්‍ර දඹදිව සමාජයේ ජනයා මානසික සුවය සොයන්නේ ස්ථිරසාර සැනසිල්ලක් ලැබීමටය. ස්ථිරසාර සැනසිල්ල වන විමුක්තිය සෙවීමට ආවේණික ගති ලක්ෂණ එම සමාජය තුළ අදටත් පවතී. නුතන විද්‍යාව දියුණුවී තිබියදීත් එම ගති ලක්ෂණ අදටත් වෙනස් නොවී පවතින්නේ එය සමාජයීය ලක්ෂණයක් නිසාය. බුදුරජාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමක් නැතිව විමුක්තිය සොයන සමාජීය පසුබිම දඹදිව් සමාජයේ හැර වෙන කිසිදු රටක වර්තමානයේ දකින්නට නොලැබේ. 

නොයෙක් ආකාරයට විමුක්තිය සොයන මාර්ග මෙන්ම ඒවාට අනුගත වූ බොහෝ අය දඹදිව් සමාජය තුළ වර්තමානයේ ද දක්නට ලැබේ. දඹදිව තුළ අදටත් නිඝණ්ටයන් ඇතුළු තවත් ශ්‍රමණවරු එම ජීවිතය ගත කරන්නේ විමුක්තියක් සෙවීම සඳහාය. එමෙන්ම වනාන්තර, ජනශුන්‍ය ප්‍රදේශ ඇසුරු කරගෙන විවිධ භාවනා ක්‍රම යොදාගනිමින් සමාධි සමාපත්තීන් උපදවාගෙන බොහෝ අය අදටද වාසය කරන්නේ විමුක්තිය සෙවීම පිණිස ම ය. මේ කිසිවෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟ අනුගමනය නොකර එම සමාජීය පසුබිම තුළින් විමුක්තිය ගවේෂණය කරති. මේ ආකාරයට වර්තමානයේත් දඹදිව් සමාජය තුළ විමුක්තිය සොයන්නේ නම් අතීතයේ කෙසේ තිබෙන්නට ඇතිද? 

මෙයින් වසර 2600 කටත් එහා දඹදිව් සමාජය තුළ බොහෝ අය විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් විමුක්තිය සෙවූහ. එලෙසට විමුක්තිය සෙවූ අයට විවිධ ක්‍රම තුළින් විමුක්ත වූ බවද තම තමන්ට පසක් වී තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් සැබෑ ම මානසික සැනසිල්ලක් ලැබූහ. එලෙසට විමුක්තිය සොයන්න පටන් ගත්තේම අන් දෙයක් පාදක කරගනිමින් නොව, එම විමුක්ති මාර්ගයන් පෙන්වූ එකල සමාජයේ ජීවත් වූ ශ්‍රාස්තෘවරුන් කෙරෙහි පැහැදීම හා විශ්වාසය පෙරදැරිකරගෙනය. සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික පර්යේෂණක් නිසා එම සියලුම ප්‍රතිපදා ආරම්භය වන්නේ පැහැදීම හා විශ්වාසය වන ශ්‍රද්ධාව පෙරදැරිවයි. ආධ්‍යාත්මික පර්යේෂණ තුලින් දුකින් නිදහස් වීමේ ක්‍රමයන් සොයා ගත් බොහෝ ශාස්තෘවරු සිටියහ. නිගණ්ඨනාථ පුත්‍ර ඇතුළු ෂඩ් ශාස්තෘවරු විවිධ ක්‍රම උපායන් පෙන්වූයේත් තම තමන් ආධ්‍යාත්මිකව පර්යේෂණ කරමින් සොයාගත් විමුක්ති ප්‍රතිපදාවන් ය. එමෙන් ආලාර කාලාම, උද්දකරාම පුත්ත, අසිත, බාවරී, සංජය ආදී කොට බොහෝ ශාස්තෘවරු විවිධ සමාධි සමාපත්ති ලබමින් ඒ තුළින් ලබන විමුක්තිය පෙන්වූහ. ඒ සඳහා ශ්‍රද්ධාව යොමු කරගත් බොහෝ අය එම ප්‍රතිපදා අනුගමනය කොට එයට අනුව ඒ විමුක්තිය ලැබූහ. මෙසේ විමුක්තිය සොයන සමාජයකට සත්‍ය විමුක්තිය පෙන්වා දෙන සම්මා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූහ.

බුදුන් උපන් සමාජය :

ශූරත්වය සතිමත්බව හා බ්‍රහ්මචරියාව අතින් ශ්‍රේෂ්ඨ මිනිසුන් සිටින දඹදිව මධ්‍ය දේශය තුළ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරව ද බොහෝ විමුක්තිය සොයන ප්‍රතිපදාවන් පුරුදු කරන්නට විය. සිල් රැකීම්, තපස් රැකීම්, සමාධි සමාපත්ති ලැබීම් පමණක් නොව ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම්, බොජ්ඣංග භාවිතයන් ද භාවිතා කළහ. පන්සිල් පමණක් නොව විකාලයේ නොවැළඳීම ආදියත් රකිමින් ඉතාම සංවර ජීවිතයක් පුරුදු කළ බව බොහෝ සූත්‍ර මෙන්ම විනයේ ද සඳහන් වේ. 

යෙපි ඛො තෙ බ්‍රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති සෙය්‍යථිදං: අට්ටකො, වාමකො, වාමදෙවො, වෙස්සාමිත්තො, යමතග්ගි, අඞ්ගීරසො, භාරද්වාජො, වාසෙට්ඨො, කස්සපො, භගු, රත්තූපරතා විරතා විකාලභොජනා. තෙ එවරූපානි පානානි සාදියිංසු. “සමණොපි ගොතමො රත්තූපරතො විරතො විකාලභොජනා. අරහති සමණොපි ගොතමො එවරූපානි පානානි සාදියිතු”න්ති පහූතං පානං පටියාදාපෙත්‍වා කාජෙහි ගාහාපෙත්‍වා යෙන භගවා තෙනුපසඞ්කමි.( වි.පි., මහාවග්ග පාළිය, භේසජ්ජක් ඛන්ධකය)

“ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රාත්‍රි භොජනයෙන් වැළකුනෝ ය. විකාලයේ  භොජනයෙන් තොර වූවෝ ය. ඔව්හු මෙබඳු පැන් ඉවසූහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේද රාත්‍රි භොජයෙන් වැළකුනෝ ය. විකාලයේ  භොජනයෙන් තොර වූවෝ ය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේද මෙබඳු පාන වර්ග ඉවසා වදාරනවා ඇත.”

එමෙන්ම උපෝසථ දවසට පිරිස එකතු වී දහම් දෙසීම ද, වස් වාසය කිරීම ද, බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන විමුක්ති මාර්ගයෙන් තොරව ඒ විමුක්තිකාමී සමාජය තුළ තිබුණු තවත් වැදගත් කරුණු වේ. 

“එතරහි ඛො අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්‍වා ධම්මං භාසන්ති. තෙ මනුස්සා උපසඞ්කමන්ති ධම්මසවණාය. තෙ ලභන්ති අඤ්ඤතිත්‍ථියෙසු පරිබ්බාජකෙසු පෙමං. ලභන්ති පසාදං. ලභන්ති අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා පක්ඛං. යන්නූන අය්‍යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්‍යු’න්ති. සාධු භන්තෙ, අය්‍යාපි චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතෙය්‍යු”න්ති.” (වි.පි., මහාවග්ග පාළිය, උපෝසථක්ඛන්‍ධකය)

“අන්‍ය තීර්ථක පරිභ්‍රාජකයෝ පොහෝ දිනයන්හි රැස් වී මිනිසුන්ට ධර්මය කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට එම තීර්ථකාරාම කරා යන්නෝ ය. එයින් ඔවුහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කෙරෙහි ප්‍රේමයත්, ප්‍රසාදයත් ලබති. එවිට ඒ අයගේ පිරිස වැඩිවී බලවත්වේ. අප ගේ ආර්‍ය්‍යයන් වහන්සේලාත් පොහෝ දිනයන්හි රැස් වන්නාහු නම් යහපතැයි බිම්බිසාර රජු භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය.”

“කථං හි නාම සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා, එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන්තා, බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙන්තා? ඉමෙ හි නාම අඤ්ඤතිත්‍ථියා දුරක්ඛාතධම්මා වස්සාවාසං අල්ලීයිස්සන්ති. සඞ්කාසයිස්සන්ති.” (වි.පි., මහාවග්ග පාළිය, වස්සූපනායිකක්ඛන්‍ධකය)

“කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ කොළ පාගමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ දුරක්ඛාත දහම් ඇතිව ද වස් විසීමෙහි ඇලෙත්, උත්සාහ රහිත ව නිතර එක් තැන්ව වසන්නාහු ය.”

මේ ආකාරයට නිවන් දැකීම සඳහා වූ බ්‍රහ්මචරියාව, ශ්‍රමණත්වය සහ ප්‍රතිපදාවන් එම විමුක්තිකාමී සමාජය තුළ පැවති අතර එවැනි ගුණ ධර්ම පුරන මිනිසුන් සිටින සමාජයක සම්මා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී තථාගතයන් වහන්සේ ට ආවේණික වූ වැඩපිළිවෙළ ඉස්මතු කළ සේක. 

අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් භාවිතා කළ ඉන්ද්‍රිය ධර්ම සහ බොජ්ඣඞ්ග පිළිබඳව ඊළඟ ලිපියෙන් විමසා බලමු.


සක්කාය දිට්ඨිය දුරුකිරීම – 2

පෙර ලිපියේ පැහැදිලි කළ අකාරයට ම විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ව්‍යවහාර වූ තවත් කරුණු විමසා බලමු. 

ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින් සමාධි සමාපත්තීන් ලබා ගත් ආකාරය ද එම විමුක්තිකාමී සමාජය තුළ වූ ලක්ෂණයක් වේ. ඒ බව බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙයින් නික්ම විමුක්තිය සොයා ආළාර කාලාම තවුසා වෙත ගොස් එම දහම ශ්‍රද්ධාවෙන් ඉගෙන, ඉන්ද්‍රිය ධර්ම භාවිත කරමින් ආළාර කාලාම පෙන්වූ සත්‍යය අවබෝධ කිරීමට උත්සාහ කළ ආකාරය මෙසේ අරියපරියෙසන සූත්‍රයේ සඳහන් වේ.

“න ඛො ආළාරස්සේව කාලාමස්ස අත්‍ථි සද්ධා, මය්හම්පත්‍ථි සද්ධා. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි විරියං, මය්හම්පත්‍ථි විරියං. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි සති, මය්හම්පත්‍ථි සති. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි සමාධි, මය්හම්පත්‍ථි සමාධි. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්‍ථි පඤ්ඤා, මය්හම්පත්‍ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය”න්ති (සූ.පි., මජ්ඣිම නිකාය, මූලපණ්ණාසකය, ඔපම්ම වග්ග, අරියපරියෙසන සූත්‍රය)

“ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාම හට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාම හට පමණක් ම වීර්‍ය්‍ය ඇත්තේ නො වේ. මට ද වීර්‍ය්‍ය ඇත. ආළාරකාලාම හට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාම හට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාම හට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම යම් ධර්‍මයක් තමන්ගේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමි’යි කියා කියයි නම්, මම ද ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කරන්නේ නම් මැනැවි යි”, බෝධිසත්වයෝ කල්පනා කළහ.

එනමුදු එම විමුක්තිකාමී සමජය තුළ තිබූ ප්‍රතිපදා තුළින් සත්‍ය අවබෝධ කර නිවීම සාක්ෂාත් කිරීමට නොහැකි වේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයෙන් පිට කිසිදු ශ්‍රමණයෙක් නොමැති බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක. එනම් සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන ශ්‍රමණවරුන්ගෙන් හිස් වේ. 

“ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙති.” (සූ.පි., මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, සීහනාද වර්ගය, චුළසීහනාද සූත්‍රය)

“මහණෙනි, පළමු ශ්‍රමණයා ද (සෝතාපන්න),  දෙවැනි ශ්‍රමණයා ද (සකදාගාමී), තුන්වැනි ශ්‍රමණයා ද (අනාගාමී), සිවුවැනි ශ්‍රමණයා ද (රහතන්වහන්සේ) මේ ශාසනයෙහි ම පමණක්ම සිටී. අන්‍ය වාද ඇති ශාසන තුළ ශ්‍රමණයන්ගෙන් හිස් වේ.”

මෙසේ ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසනවල සිටින උතුම් ශ්‍රමණවරුන් ට රාග ද්වේෂ මෝහයන් ප්‍රහාණය වූ බව තමාට ප්‍රත්‍යක්ෂ වූ අතර, කාම, දිට්ඨි, සීලබ්බත යන උපාදානයන් ද දුරු වූ බව ප්‍රත්‍යක්ෂ විණි. එමෙන්ම ප්‍රපංච දුරු වී තණ්හාව දුරු වූ බව ත් අත්විඳිමින් නිවීම සාක්ෂාත් කළ බව ට මුලා වූහ. 

“තස්මා තෙ භොන්තො සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බුපාදාන පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.” 

“එ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පනවන්නෙමි’යි ප්‍රතිඥා දෙති. ඔවුහු මැනවින් සියලු උපාදානයන්ගේ පිරිසිඳ දැකීම පනවන්නේ නැත. කාම උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. දිට්ඨි උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. සීලබ්බත උපාදානයේ පිරිසිඳ දැකීම පනවති. අත්තවාද උපාදානයේ පිරිසිඳ දැකීම නො පනවති.”

“සම්මා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: නිප්පපඤ්චාරාමස්සාවුසො සා නිට්ඨා නිප්පපඤ්චරතිනො, න සා නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති.”

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්තක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති. ඇවැත්නි, එනම් ප්‍රපංචයේ ඇසුරු නොකොට ගෙන, ප්‍රපංච කිරීමට නොඇලී වාසය කිරීමයි. ප්‍රපංචකිරීම ඇසුරුකිරීම හා ප්‍රපංචකිරීමේ ඇලීම ඇති කෙනා නිෂ්ඨාවට පත් නො වෙයි.” 

“සම්මා ව්‍යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතමොහස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සාති.”

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නා වූ අන්‍ය තීර්තක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රකාශ කරති. ඇවැත්නි එනම් මෝහය දුරුවූවෝ නිෂ්ඨාවට පත් වේ. මෝහය සහිත කෙනා නිෂ්ඨාවට පත් නො වෙයි.” 

මේ ආකාරයට ශ්‍රමණවරුන් ගෙන් හිස් ශාසන ප්‍රතිපත්තිය ඉතාම මනහර වේ. එමෙන් ම කොපමණ සැනසීම ක් ලබන්න ඇති ද? එනමුත් තථාගතයන් වහන්සේ වදාළ සක්කාය නිරෝධ දහමක් ඒ තුළ ප්‍රකට වූයේ ම නැත. වර්තමානය තුළ මනාව සිහිය පිහිටුවාගෙන අතීත අනාගතය අනුව නොගොස් මේ ජීවිතයේම නිවුණු බවට රැවටුණු අයද බොහෝ සිටියහ. මේ ප්‍රතිපදා තුළ කොපමණ වැදගත් බවක් ප්‍රකට වුවද ශ්‍රමණයන්ගෙන් හිස් ම වේ. 

“යදෙව තත්‍ථ සුඛමිති චෙතසො ආභොගො එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්‍ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්‍ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.” (සූ.පි., දීඝ නිකාය, සීලස්කන්‍ධ වර්‍ගය, බ්‍රහ්මජාල සූත්‍රය)

“යම් ඒ සැප යැයි සිතෙහි නැමුණු බව ක් වේද එයද ගොරෝසු බව වැටහේ. යම්විටෙක ලැබුණු ධ්‍යාන වූ තමාගේ සැපයේ ප්‍රහාණයෙන්, දුකේ ප්‍රහාණයෙන් ද, මුලින්ම සෝමනස්ස දෝමනස්ස දුරුවීමෙන් ද, දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිඳුබවින් යුතු සතරවන ධ්‍යානය ලබාගෙන වාසය කරයි. භවන්ත්නි මෙතෙකින්ම තමා යැයි ලැබුණු උතුම් දිටු දැහැමේ ලැබුණු නිවීම වේ. මෙසේ ඇතැමුන් සත්වයාට ප්‍රකටවන ලෙස උතුම්  දිටු දැහැමේ නිවීම පනවති.”

“ඉධ පන භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛාය වෙදනාය සමතික්කමා සන්තොහමස්මි නිබ්බුතොහමස්මි අනුපාදානොහමස්මී’ති සමනුපස්සති” (සූ.පි., මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසකය, දෙවදහ වර්‍ගය, පඤ්චත්තය සූත්‍රය)

“මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පූර්‍වාන්තානු දෘෂ්ටීන් (අතීත අනුව වූ දැකීම්) ද දුරැලීමෙන් හා අපරාන්තානු දෘෂ්ටීන් (අනාගත අනුව වූ දැකීම්) ද දුරැලීමෙන් සම්පූර්ණයෙන්ම කාම සංයොජනයන් (කාමය හා එකතුවීම්) බැහැර කිරීමෙන් විවේකය, ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස සැපය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වේදනාව ඉක්මවීමෙන් මම ශාන්ත වූ බව, මම නිවුණු බව, මම උපාදාන නැති බව සම්මර්ශනය කරයි.”

ඉහත සඳහන් දේශනා පාඨ තුළින් විද්‍යාමාන වනුයේ විමුක්තිකාමී සමාජය තුළ බුදුරජාණන් වහන්සේ නමකගේ දහමින් තොරව අති ගම්භීර වූ ශාන්ත සුන්දර ප්‍රතිපදා තිබූ බව ය. 

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ම බුද්ධ වචනය නොදන්නා කෙනෙකුට මේ සියලු ක්‍රමයන් නිවන් මඟ යැයි සිතෙන්නට පුළුවනි. එනමුදු ඒ සියල්ලම ශ්‍රමණවරු නැති ශාසන ප්‍රතිපත්ති ම වේ. එපමණක් නොව තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආනාපානසතියට අමතර වූ ආනාපානසතියක් ද ඒ උතුම් විමුක්තිකාමීහු පුරුදු කළහ. මේ සියලු ප්‍රතිපදා තුළින් අධ්‍යාත්මය තුළ සැනසීමක් ලැබෙන අතර ම ලෝකයෙන් නිදහස් නොවී ලෝකය තුළ ම සිටිමින් සසර ගමන් කරයි. ඒ බව ලබන සතියේ සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 3

දඹදිව විමුක්තිකාමී සමාජය තුළ විමුක්තිකාමීහු විමුක්තිය සෙවීම සඳහා ලෝකයේ යථාර්තවාදී ප්‍රතිපදාවන් ලෙස භාවනා මාර්ග පුරුදුකළහ. ඒ අතර ආනාපානසති භාවනාව ද ප්‍රධාන ප්‍රතිපදාවක් ලෙස වැඩූහ. 

“යථා කථං පන ත්‍වං අරිට්ඨ, භාවෙසි ආනාපානසතින්ති. අතීතෙසු මෙ භන්තෙ, කාමෙසු කාමච්ඡන්‍දො පහීනො. අනාගතෙසු මෙ කාමෙසු කාමච්ඡන්‍දො විගතො. අජ්ඣත්තබහිද්ධා ච මෙ ධම්මෙසු පටිඝසඤ්ඤා සුප්පටිවිනීතා. සො සතොව අස්සසාමි සතො පස්සසාමි. එවං ඛො’හං භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති.”  (සංයුත්ත නිකාය, මහා වර්‍ගය, ආනාපාන සංයුක්තය, එකධම්ම වර්‍ගය, අරිට්ඨ සූත්‍රය)

“අරිට්ඨ, නුඹ කෙසේ නම් ආනාපානසතිය වඩන්නේද?. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අතීත කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ ය. අනාගත කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහාණය වූයේ ය. ආධ්‍යාත්මික බාහිර ධර්මයන් කෙරෙහි මාගේ පටිඝ සංඥාව මනාව ප්‍රහාණය වූයේ ය. ඒ මම සිහියෙන් ම ආශ්වාස කරමි. සිහියෙන් ම ප්‍රශ්වාස කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි.”

බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය පිළිබඳ වදාළ ධර්මය ඇසීමෙන් තොරව, විමුක්තිකාමී සමාජය තුළ සිට පැවිදි වූ අය ද ඒ සමාජය තුළ තිබූ ආනාපානසති භාවනාව පුරුදු කර ඇත. එය වැරදි නැති බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ම පෙන්වන ලෝකයෙන් එතෙරවීම සඳහා වූ ආනාපානසති භාවනාව ද විස්තර වශයෙන් දේශනා කළහ. 

දක්ෂතාවයක්, සතිමත් බවක් සහ බ්‍රහ්මචරියෙන් අග්‍ර වූ විමුක්තිකාමී සමාජයක් තුළ මේ ආකාරය ට උතුම් ප්‍රතිපදාවන් පුරුදු කරමින් අන්‍ය ශ්‍රමණවරුන් සිටීම අරුමයක් ද නොවේ. 

එමෙන්ම, ඒ උතුම් අන්‍ය ශ්‍රමණවරු ප්‍රඥාව දුර්වල කරන නීවරණයන් ප්‍රහාණය කිරීම ත්, එලෙසට නීවරණ ප්‍රහාණ වූ විට බොජ්ඣංග ධර්මයන් භාවිත කීරීමත් හොඳින් කළහ.

“අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්‍ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්‍වා තෙහි අඤ්ඤතිත්‍ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ තෙ අඤ්ඤතිත්‍ථියා පරිබ්බාජකා එතදවොචුං: සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති. “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. මයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම. “එථ තුම්හෙ ආවුසො, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප්පායො, කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසන්ති”  (සංයුත්ත නිකාය, මහා වර්‍ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, බොජ්ඣඞ්ග වර්‍ගය, පරියාය සූත්‍රය)

“එකල්හි  භික්‍ෂූහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා එළඹියහ. එළඹ ඒ අය සමඟ සතුටු සාමීචි කතාවේ යෙදී  එකත් පසෙකව සිටියහ. ඒ භික්‍ෂූන්ට අන්‍ය පරිබ්‍රාජකයෝ මෙසේ කීහ: ඇවැත්නි, “ශ්‍රමණ ගෞතමයන් මෙසේ ශ්‍රාවකයන්ට දහම් දෙසයි “මහණෙනි, සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම වඩව්” යි. ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසමු. “ඇවැත්නි, සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම වඩව්” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ මේ ධර්‍ම දේශනාව වෙනස කුමක්ද? විශේෂත්වය කුමක්ද?”

 මේ ආකාරයට සිත කෙලෙසන, නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට, සප්ත බොජ්ඣඞ්ග යථාර්ත වශයෙන්ම භාවිත කිරීම විමුක්තිකාමී සමාජය තුළ බුද්ධ දේශනාවෙන් තොරව ද සිදු වූ භාවනාවන් ය.

මේ සියලු ම කාරණා ශූරත්වය හා සතිමත් බවින් යුතු විමුක්තිකාමී සමාජය තුළ පුරුදු කළ ප්‍රතිපදාවන් වේ. මේ ආකාරයට කොපමණ පුරුදු කළ ද එම ශාසන තුළ ශ්‍රමණයන්ගෙන් හිස් ම වේ. පංච උපාදානස්කන්ධ, ධාතු පිළිබඳව සොයමින් මේ ප්‍රතිපදාවන් පුරුදු කළ මේ ශ්‍රමණවරුන් ට සැබෑම ශ්‍රමණත්වය වන මගඵල ලැබීමට නොහැකි වූයේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන ඒ ගැඹුරු ශුන්‍යතා ප්‍රතිබද්ධ ධර්මය නො ඇසෙන නිසා ය. 

“රූපං භික්ඛවෙ, අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං අත්‍ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි. වෙදනා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මං අත්‍ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මා අත්‍ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි, විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං අත්‍ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්‍ථීති වදාමි.” (සංයුත්ත නිකාය, ඛන්‍ධක වර්‍ගය, ඛන්‍ධ සංයුත්තය, මජ්ඣිම පණ්ණාසකය, පුප්ඵ වර්‍ගය, පුප්ඵ සූත්‍රය)

“මහණෙනි, රූපය අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. වේදනාව අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. සංඥාව අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. සංස්කාර අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි. විඥානය අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ධර්‍ම යැයි ලොකයේ පණ්ඩිතයනගේ සම්මතයක් ඇත. මම ද එය ඇතැ යි වදාරමි.”

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ නමකගේ පෙන්වා දීමෙන් තොරව ද විමුක්තිකාමී සමාජය තුළ වූ පණ්ඩිතයෝ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය, දුක්ඛ, වෙනස්වන ස්වාභාවය පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ ද එකරුණු ඒ ආකාරයෙන්ම පෙන්වා වදාළේ “තමා” යන්නෙන් ශුන්‍ය බව විද්‍යමාන කරමිනි. 

“කිඤ්ච ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා: චක්ඛුං ඛො ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. යස්මා ච ඛො, ආනන්‍ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චතීති.”  (සංයුත්ත නිකාය, සළායතන සංයුත්තය, ඡන්න වර්‍ගය, සුඤ්ඤතලොක සූත්‍රය)

“ආනන්‍දයෙනි, තමා හා තමාට අයිතීත්වයෙන් කුමක් ශූන්‍ය වේ ද? ආනන්‍ද, ඇස තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. රූප තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ දැනගැනීම තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ ස්පර්ශය තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. ඇසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක, අදුක්ඛමසුඛ විදීම් තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ…… මනසේ ස්පර්ශයෙන් උපදින සැප, දුක, අදුක්ඛමසුඛ විදීම් තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ. යම් සේ ආනන්ද තමා හා තමාට අයිතීත්වයෙන් ශූන්‍ය වේ ද ඒ හෙයින් ‘ලෝකය ශූන්‍ය’ යැ යි කියනු ලැබේ.”

බුදුරජාණන් වහන්සේ ‘තමා හා තමාට අයිති බවින් හිස්’, යන්න පිළිබඳ වූ දහමක් ලොවට පෙන්වා දුන්හ. මේ ආකාර ගැඹුරු ප්‍රතිපදාවන් සහිත විමුක්තිකාමීත්වයකින් යුතු සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොපමණ ගැඹුරු ද සහ ඊට යොමු වීමට කොපමණ හැකියාවක් තිබිය යුතු ද යන්න මනාව වටහා ගත හැකි වේ. එම නිසාම මූලික ම බුද්ධ වචනය කුමක් ද? යන්න වටහාගෙන ඒ තුළින් කියවෙන අර්ථය සෙවීමට යොමුවිය යුතු ම වේ. 

 ඒ මූලික බුදු වදනට යොමුවන ආකාරය මීළඟ ලිපියෙන් විමසා බලමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 4

වසර 2600 කට පමණ ඉහත දී වදාළ, ඒ බුද්ධ වචනය අනුව මේ දක්වා විවිධ අය විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන පැමිණියහ. එලෙසට කුමන අර්ථකථන ඉදිරිපත් කළ ද මූලික බුද්ධ වචනයට කිසිදු වෙනසක් නොකිරීමට ඔවුහු වගබලා ගත්හ. මේ වන විට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොවසන නිසා අපට බුදුරජාණන් වහන්සේගෙන් ම ධර්මය ඇසෙන්නේ නැත. එසේ නම් තථාගතයන් වහන්සේ වදාළ සියලු බුදු වදන් දරාගත්තේ කවුරුන්ද යන්න වග සොයා බැලිය යුතු වේ. ඒ, ආනන්ද ස්වාමීන් වහන්සේ යි. මතක තබා ගැනීමෙන් අග්‍ර වූ  ආනන්දයන් වහන්සේ, තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය දරාගෙන වැඩ සිටි සේක.

“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්‍දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සතිමන්තානං යදිදං ආනන්‍දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්‍දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධිතිමන්තානං යදිදං ආනන්‍දො, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං උපට්ඨාකානං යදිදං ආනන්‍දො.” (අඞ්ගුත්තර නිකාය, එකක නිපාතය, එතදග්ග පාළිය)

“මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් බහුශ්‍රැත බවින් අග්‍රම  ආනන්‍ද වේ, මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් සතිමත් බවින් අග්‍රම  ආනන්‍ද වේ, මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින්  යහපත් පැවතුම් අතින් අග්‍රම  ආනන්‍ද වේ, මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් ධාරණ ශක්තිය අතින් අග්‍රම  ආනන්‍ද වේ, මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතරින් උපස්ථාන කිරීම අතින් අග්‍රම  ආනන්‍ද වේ.”

ආනන්ද ස්වාමින් වහන්සේ අග්‍ර උපස්ථායක වීමට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් අතර, බුද්ධත්වයට පත් වූ දා පටන් දේශනා කළ සියලු  ධර්මයන් නැවත තමාට දේශනා කරන ලෙසට සහ  තමන් නැති තැන දේශනා කළ සියල්ල ම ද නැවත තමාට දේශනා කරන ලෙසටයි. මතක තබාගැනීමෙන් අග්‍ර වූ ආනන්ද ස්වාමීන් වහන්සේට අසා ධරාගත් එම ධර්මය මතක තබා ගැනීමට අපහසු වූයේ ද නැත. 

“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො; 

චතුරාසීතිසහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො.”  

(ඛුද්දක නිකාය, ථෙරගාථා පාළිය, තිංසති නිපාත, ආනන්‍දත්‍ථෙර ගාථා)

“අසූ දෙදහසක් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගතිමි. දෙදහසක් වූ භික්ෂූන්ගේ ධර්මය දැනගතිමි. යම් ඒ අසූහාරදහසක් වූ ධර්මය මා තුළ පවතී.”

“බහුස්සුතො ධම්මධරො, කොසාරක්ඛො මහෙසිනො;

චක්ඛු සබ්බස්ස ලොකස්ස, පූජනීයො බහුස්සුතො.”

“බහුශ්‍රැත වූ ධර්මධර වූ මහා ඍ‍ශිගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරා වූ ඒ පූජනීය බහුශ්‍රැත භික්ෂුව සියලු ලෝකයටම ඇසක් බඳුය.”

“බහුස්සුතො ධම්මධරො, කොසාරක්ඛො මහෙසිනො;

චක්ඛු සබ්බස්ස ලොකස්ස, අන්ධකාරෙ තමොනුදො.”

“බහුශ්‍රැත වූ ධර්මධර වූ මහා ඍෂිගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරා වූ ඒ භික්ෂුව අන්ධකාරයේ අඳුර දුරලන සියලු ලෝකයටම ඇසක් බඳුය.” 

“ගතිමන්තො සතිමන්තො, ධිතිමන්තො ච යො ඉසි;

සද්ධම්මධාරකො ථෙරො, ආනන්දො රතනාකරො.”

“යහපත් ගති පැවතුම් ඇති, සතිමත් බව ඇති, ධාරණ ශක්තිය ද ඇති ඍෂිවරයෙක් වන ආනන්දයන් ස්ථවිරයන් වහන්සේ රන් ආකරයක් මෙන් සද්ධර්මය දරාගෙන සිටිති.” 

තථාගතයන් වහන්සේ යමක් වදාළ ද, එය ඒ ආකාරයටම ක්‍රියාවෙන් සිදුකරන සේක.  එය තථාගතයන් වහන්සේගේ තථාගත ස්වභාවය යි. 

“යථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී. යථාකාරී තථාගතො තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, තස්මා තථාගතො’ති වුච්චති.” (ඛුද්දක නිකාය, ඉතිවුත්තක පෙළ, චතුෂ්ක නිපාතය, ලෝකාවබෝධ සූත්‍රය)

“මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගතයන් වහන්සේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මේ ආකාරයට යම්සේ කියන්නේවේ ද එසේම කරන්නේ වේ. යම්සේ කරන්නේ ද එසේම කියන්නේ වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.”

මේ කරුණු ගැන සොයා බලන විට තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මයන් ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කර ඇති බව වටහා ගත හැකි වේ. ඒ සියල්ල ඒ විදියට ම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබාගෙන ද ඇත. මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු දේශනා මූලික බුදු වදන් බව වටහා ගත හැකි වේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසුව පළමු ධර්ම සංඝායනාව පැවැත්වී ය. විවිධ තැන්වල දේශනා කළ ඒ සියලු ධර්මයන් එක්තරා ක්‍රමයකට සකස් කිරීම හා අන් අයට මතක තබා ගැනීම සඳහා සැලැස්වීම මේ සංඝායනාවේ දී සිදුවි ය. 

ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සියලු ධර්මයන් “එවං මෙ සුතං” (එනම්  “මා විසින් මෙසේ අසන ලදී.”) ලෙස ඉදිරිපත් කළහ.  එම සියල්ල පරියාය, නිදානය, ව්‍යංජනය ඒ ආකාරයට ම ඉදිරිපත් විය. ආචාර්ය පරම්පරාවෝ ඒවා ඒ අයුරින්ම මතක තබාගත්හ. ඒ මූලික බුදු වදන අදට ත් පවතින්නේ ඒ නිසා ම ය. වෙනත් වූ කිසිවෙකුගේ විස්තරයකින් තොරව පවතින මූලික බුද්ධ වචනය “එවං මෙ සුතං” ලෙස ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලදී. එම මූලික බුදු වදනට යොමු වූ විට පමණක් ම තථාගත දහම අන්‍ය වූ විමුක්තිකාමී දහමින් වෙන් කොට වටහාගත හැකි වේ. ඒ සඳහා පරියාය, ව්‍යංජනය මනාව ඉගෙන ගත යුතු වේ. එසේ නොවුන හොත් බුදු වදන විනාශ කිරීමට යොමු වන බව ද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක.

“ඉධ භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති දුන්තික්ඛිත්තෙහි පදබ්‍යඤ්ජනෙහි. දුන්නික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්‍යඤ්ජනස්ස අත්‍ථොපි දුන්නයො හොති. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති ” (අඞ්ගුත්තර නිකාය, පඤ්චක නිපාතය, චතුත්‍ථො පණ්ණාසකය, සද්ධම්ම වග්ගය, තතියසද්ධම්මසම්මොස සූත්‍රය)

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිළිවෙළකට ධර්මය උගත්තේ නොවෙයි, පද ව්‍යංජනයන්ද පිළිවෙළකට නොගත්තේ වෙයි. මහණෙනි, වැරදි ලෙස පද ව්‍යංජන ඉගෙනගත් විට අර්ථය විනාශ කරගත්තා වෙයි. මහණෙනි, සද්ධර්මය විනාශ කරන, අතුරුදහන් කරන, පළමු කරුණ මෙය වෙයි.”

ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාවක් වන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ලෝකයේ ඇති වචන භාවිත කරමින් පැහැදිලි කර ඇත්තේ එම වචන වලට රිංගා නොගෙන සියලු ව්‍යවහාරිකත්වයන් ඉක්මවීම සඳහා ය. එබැවින් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ පද පිළිවෙළ, පරියාය යන සියල්ල නිවැරදි ව ඉගෙනගත යුතු වේ. එසේ නොකළහොත් ලෝකයේ ව්‍යවහාර වන වචන භාවිත කරමින් පෙන්වා වදාළ, බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික ලෝකෝත්තර මඟ ඉස්මතු නොවේ. එනම් බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික ලෝකෝත්තර මඟ අතුරුදහන් වේ. විනාශ වේ. එබැවින් එම ධර්මය වදාළ ව්‍යවාහාරික සමාජයේ වූ භාෂාව වන මාගධී භාෂාව (පාලි) පිළිබඳව ද මනා අවබෝධයක් තිබිය යුතු වේ. ඒ පිළිබඳව ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 5 

වසර 2600 කට පමණ පෙර දී දේශනා කරන්නට යෙදුණු ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඉගෙන ගැනීම සඳහා තවත් විශේෂ කරුණක් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. එනම්, එකල ව්‍යවහාර වූ භාෂාව දැන ගත යුතු වීමයි. යම් කරුණක් තවත් කෙනෙකුට සන්නිවේදනය වන්නේ භාෂාව හරහා ය. යම් හෙයකින් ඒ භාෂාව නිවැරදි ව දැන නොසිටියේ නම් ඒ පෙන්වන කරුණු වටහා ගත නොහැකි වේ . ලෝකය තුළ ව්‍යවහාර වන අර්ථයන් ද වටහා ගැනීම ට භාෂාව පමණකුදු නොව කොමාව (,) හා නැවතීමේ තිත (.) පවා බලපායි.  

උදා: “සමන් මරන්න එපා, නිදහස් කරන්න.” 

       “සමන් මරන්න, එපා නිදහස් කරන්න.” 

කොමාව (,) හා නැවතීමේ තිත (.) අනුව අර්ථය පරස්පර විරෝධීවන බව මේ උදාහරණයෙන් පැහැදිලි වේ. එබැවින් එකල ව්‍යවහාරික භාෂාව හා ඒවා යෙදුණු අවස්ථා අනුව ම අර්ථයන් සෙවිය යුතු වේ.  

එමෙන් ම එය ව්‍යවහාර වන පරියාය අනුව ද අර්ථය වෙනස් වේ.    

උදා:  

කෝලාහලයකදී වෛරයෙන් යුතු ප්‍රකාශය:   

“සමන්ගේ කොන්දට ගහන්න.”  

ආහාර හිරවී හෝ පිටඋගුරේ ගිය විට මෛත්‍රියෙන් යුතු ප්‍රකාශය:  

“සමන්ගෙ කොන්දට ගහන්න.” 

මේ ආකාරයට, යෙදුණු අවස්ථා අනුව සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වේ. එම නිසා එකල භාෂාව පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු ම වේ. ඉන්දියාවේ මගධ දේශයේ ව්‍යවහාර වූ භාෂාව, මාගධී භාෂාව නම් වේ. එයට පාලි භාෂාව යැයි ද හඳුන්වනු ලැබේ. මේ භාෂාව ට අනන්‍ය වූ අක්ෂරයන් නොමැත. ඉගෙන ගන්නා වූ භාෂාවට අනුව මාගධී භාෂාව ලිවීම සිදු කිරීම සඳහා ශබ්දය අනුව ඒ ඒ භාෂාවේ අක්ෂර භාවිතයෙන් පාලි හෝඩියක්, ව්‍යාකරණ රීති සම්පාදනය කළ අය විසින් සකස් කර ඇත. ගැඹුරු ව්‍යවහාර හා අරුත් ඇති ඒ භාෂාවේ යෙදීම් අනුව ඉගෙන ගෙන ඒ භාෂාමය අර්ථය ස්වකීය වූ භාෂාවට අනුව යොමු වී වටහා ගතයුතු වේ. එසේ නොවුණහොත් එම ගැඹුරු ධර්මය වටහා ගත නොහැකි වනු ඇත.  

“ඉධ භික්ඛවෙ, තදෙව එකච්චෙසු ජනපදෙසු පාතීති සඤ්ජානන්ති. පත්තන්ති සඤ්ජානන්ති. විත්‍ථන්ති සඤ්ජානන්ති. සරාවන්ති සඤ්ජානන්ති. ධාරොපන්ති සඤ්ජානන්ති. පොණන්ති සඤ්ජානන්ති. පිසීලවන්ති සඤ්ජානන්ති. ඉති යථා යථා නං තෙසු තෙසු ජනපදෙසු සඤ්ජානන්ති: ඉදං කිර මෙ; ආයස්මන්තො සන්‍ධාය වොහරන්තීති. තථා තථා වොහරති අපරාමසති. එවං ඛො භික්ඛවෙ ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො හොති. සමඤ්ඤාය ච අනතිසාරො.” (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසකය, විභඞ්ග වග්ගය, අරණවිභඞ්ග සූත්‍රය

“මහණෙනි, එකම බඳුනට ඇතැම් ජනපදයන්හි ‘පාති’ යන්නෙන් හඳුන්වයි. ‘පත්ත’ යන්නෙන් හඳුන්වයි. ‘විත්ථ’ යන්නෙන් හඳුන්වයි. ‘සරාව’ යන්නෙන් හඳුන්වයි. ‘ධාරොප’ යන්නෙන් හඳුන්වයි. ‘පොණ’ යන්නෙන් හඳුන්වයි. ‘පිසීලව’ යන්නෙන් හඳුන්වයි. මෙසේ වෙනස් ආකාරයන්ට එකම බඳුනට ඒ ඒ ජනපදයන්හි හඳුනාගනිත් ද, එපරිද්දෙන් ම ඒ ආයුෂ්මතුන් එයට ව්‍යවහාර කෙරෙයි. එපරිද්දෙන් ව්‍යවහාර කළද, එය දැඩිව ග්‍රහණය නොකරගනී. මහණෙනි මෙසේ, ඒ ඒ ජනපද නිරුක්ති වලට නොබැසගැනීම ද, ව්‍යවහාර නොයික්මවීම ද වේ.”  

යමක් කෙනෙකුට පවසන විට එම කරුණෙහි අර්ථය වටහාගැනීම සඳහා ඔහු ව්‍යවහාර කරන භාෂාව තුළින් පෙන්වාදීම හෝ තමන් ව්‍යවහාර කරන භාෂාව ඉගැන්වීම හෝ සිදුකළ යුතු වේ. එසේ නොවුනහොත් එම අර්ථය අන් අයට සන්නිවේදනය නොවේ. ව්‍යවහාර කරන භාෂාවට රිංගා නොගෙන අර්ථය පෙන්වීම සඳහා පමණක් එම භාෂාව භාවිත වන බව අරණවිභඞ්ග සූත්‍රයේන් පැහැදිලි වේ. 

ශූරත්ත්වයත්, සතිමත් බවත් ඉහළින් තිබූ විමුක්තිකාමී සමාජය තුළ මාගධී භාෂාව ව්‍යවහාරික භාෂාවක් ලෙස ඉතාමත් තාත්වික ලෙසට ව්‍යවහාර කර ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මූලික බුද්ධ වචනය ඉගෙන ගැනීමට යොමුවිය යුතු වේ.  

මාගධී භාෂාව ව්‍යවහාර කළ සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේට තමන් අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය දේශනා කිරීමට ලෝකයේ ව්‍යවහාර වන භාෂාවට අනුව ද අපහසු බව වැටහිණි. අසාමාන්‍ය අධ්‍යාත්මික හැකියාවකින් යුතු මිනිසුන් සිටින කාලයක හා එම සමාජයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී තමන් අවබෝධ කරගත් ධර්මය අන් අයට දේශනා කිරීම වෙහෙසක් පමණක් ම බව ද සිතූ සේක.  

“අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං පරෙ ච මෙ න ආජානෙය්‍යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති” (මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, ඔපම්ම වග්ගය, අරියපරියෙසන සූත්‍රය

“මා අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරු ය. දැකීමට, අවබෝධකිරීමට අපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්කයෙහි හැසිරීමක් නොමැත. තීක්ෂණ බුද්ධියෙන් පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ලෝකයා ඇලීමෙහි ඇලුන, ඇලීමෙහි සතුටුවන, ඇලීමෙහි වාසය කරන්නාහ. එසේ වාසය කරන ලෝකයාට යම් මේ ඉදප්පච්චයතාව නම් වූ පටිච්ච සමුප්පාදය දකින්නට දුෂ්කර ය. යම් මේ සියලු සංස්කාර සංසිඳීම, සියලු උපදි දුරුකිරීම, තණ්හාව දුරුවීම, රාගය දුරුවීම, නිරෝධවීම, නිවීම ද දකීම දුෂ්කර ය. මම දහම් දෙසන්නේ නම් අන්‍ය අය එය අවබෝධ නොකරගන්නෝ ය. එය මට ක්ලාන්ත වීමකි. එය මට වෙහෙසකි.”  

කිසිම කෙනෙකුට සමාන කළ නොහැකි අසාමාන්‍ය හැකියාවෙන් යුතු වූ බුදුරජාණන් වහන්සේට ශූරත්ත්වය හා සතිමත් බවින් අග්‍ර වූ විමුක්තිකාමී සමාජයේ මිනිසුන්ට ද දහම් දේශනා කිරීමට මන්දෝත්සාහී වූයේ නම්, එම දහම කෙතරම් ගැඹුරු එකක් ද යන වග මනාව පසක් වේ. අවබෝධ කිරීමට දුෂ්කර වූ, පණ්ඩිතයන් පමණක් දකින, තර්කයක හැසිරීමක් නැති, සූක්ෂම වූ ගැඹුරු ධර්මය දේශනා කළ නොහැකි බව සිතුණු බුදුරජාණන් වහන්සේ, ශූරත්ත්වයෙන්, සතිමත් බවින් අග්‍ර විමුක්තිකාමී සමාජයේ ප්‍රඥාවන්ත මිනිසුන්ට පහුරක්, උපමා ලෙස යෙදෙන අයුරින් ධර්මය පෙන්වා වදාළ සේක. යම් ප්‍රඥාවන්තයෙක් ඒ දහම නිවැරදිව ශ්‍රවනය කළේ නම් තථාගත දහමට අධ්‍යාත්මය තුළින් යොමුවීමේදී ම පහුරක් ලෙසටම ප්‍රායෝගිකත්ව ය අනුව ම යෙදේ. එලෙසට සිදු නොවන්නේ නම් සර්පයාගේ නගුටෙන් ඇල්ලුවාක් මෙන් ඔහුව විනාශ වී යයි.  

දහම පහුරක් බව ත්, වැරදි ලෙස ඉගෙනගත්තේ නම් සර්පයාගේ නගුටෙන් ඇල්ලීමෙන් තමාව ම විනාශ වෙන බවත් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 6

බුදුරජාණන් වහන්සේගේ ධර්මය; නිදානය, පරියාය, පදව්‍යංජන යන ඒවා ඒ තිබෙන ආකාරයට ම ඉගෙන ගන්නා විට, එම ධර්මය එතෙරවීම සඳහා උපකාර වන පහුරක් ලෙසට ප්‍රඥාවෙන් අත්දකී. එසේ නොවූයේ නම් ලෝකයේ දෙයක් ලෙසින් ම ධර්මය හමුවීම නිසා එතෙරවීමක් සිදුනොවී, එතුළට රිංගාගනිමින් තමාව ම තහවුරු කරගනී. 

“කුල්ලූපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ.”  (මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, ඔපම්ම වග්ගය, අලගද්දූපම සූත්‍රය

“මහණෙනි, නුඹලාට මම පහුරක් උපමා කොට ධර්මය දේශනා කරමි. එය එතෙර වීම පිණිස ම ය. ග්‍රහණය කරගැනීම පිණිස නො වේ. එය අසවු. මනාව මෙනෙහි කරව්.” 

පහුරක් ලෙසට උපමා කරමින් පෙන් වූ ධර්මය ප්‍රඥාව තුළින් නොදකින ආකාරයට ඉගෙන ගත්තේ නම්, එකරුණු තුළින් ම තමාව විනාශය කරාම යොමුවීමක් සිදුවේ. ධර්මය අවබෝධය කරා යොමුවීම කිසිසේත් සිදුනොවේ.  

“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො අලගද්දත්‍ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො – සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං. තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්‍ය. තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්‍වා හත්‍ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩසෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු: දුග්ගහීතත්තා භික්ඛවෙ අලගද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති: සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්‍වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්‍ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්‍ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්‍ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්‍ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහීතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දුග්ගහීතත්තා භික්ඛවෙ ධම්මානං.” 

“මහණෙනි, යම්සේ පුරුෂයෙකුට සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති වූ විට ඔහු සර්පයන් සෙවීමෙහි යෙදුනාහු වෙයි. හෙතෙම විශාල සර්පයෙක් දකින්නේ ය. ඔහු ඒ සර්පයාගේ නගුටෙන් හෝ ශරීරයෙන් හෝ අල්ලන්නේ ය. එම සර්පයා ආපසු හැරී, ඔහුගේම අතට හෝ බාහුවට හෝ ශරීරයට හෝ දෂ්ට කරන්නේය. ඔහු ඒ හේතුවෙන් ම මරණයට හෝ මරණයට සමාන දුකකට පත්වන්නේ ය. මක්නිසාද යත්, සර්පයා වැරදි ලෙස අල්ලාගත් හෙයිනි. මහණෙනි එලෙසින් ම ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්මයන් ඉගෙන ගනිති. ඔහු ඒ ධර්මය ඉගෙන ගැනීම් වශයෙන් ප්‍රගුණ කළ මුත්, එහි අර්ථය එම ධර්මයට ම යොමුවී නොසොය යි. එසේ ධර්මයට ම ළංවී අර්ථ නොසොයන නිසා එම ධර්මයට ම අනුගත වී බැලීම සිදුනොවේ. ඔවුහු චෝදනා කිරීම ට හේතු වන ලෙස ධර්මය ඉගෙනගෙන අන්‍යයන්ගේ වාදයෙන් මෙසේ මිදෙමු යි සිතා ධර්මය ඉගෙන ගනිති. යම් අර්ථයක් පිණිස ධර්මය ඉගෙන ගනී ද, එම අර්ථය සඳහා යොමු නොවේ. වරදවා ගත් ධර්‍මයෝ නිසා ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස ම පවතියි. ඒ කවරහෙයින්ද යත්, මහණෙනි, ධර්‍මය වරදවා උගත් බැවිනි” 

බුදුරජාණන් වහන්සේ පෙන් වූ ධර්මය ස්වකීයත්වය ඉක්මවන ප්‍රතිපදාවකි. එම ධර්මය ඉගෙන ගැනීමෙන් ස්වකීයත්වය තහවුරු කරගෙන ඒ තුළ පිහිටා අන්‍ය අයගේ මතයන් හුවාදක්වමින් කටයුතු කරයි. එලෙස සිදුකිරීම තුළින් ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෙන්වන ස්වකීයත්වය ඉක්මවන අර්ථය විනාශයට පත්වී ඇත. මේ තුළින් ධර්මයේ අර්ථය පෙන්වීම පසෙකලා තව කෙනෙක් පහත් කිරීම හෝ උසස් කිරීම සිදුවී ඇත. එසේ සිදුකිරීම ම ධර්ම දේශනා කිරීමක් නොවන බව අරණවිභඞ්ග සූත්‍රයේ (තත්‍ර භික්ඛවෙ, යා’යං උස්සාදනා ච අපසාදනා ච නො ච ධම්මදෙසනා) පෙන්වා ඇත. 

තව කෙනෙක් උසස් කිරීමක් හෝ පහත් කිරීමක් හෝ සිදු නොවී ධර්මය පමණක් ම පෙන්වීමෙන් සිදු කරන දේශනාව, ධර්ම දේශනාවක් බව අරණවිභඞ්ග සූත්‍රයේ පෙන්වා ඇත. (උස්සාදනඤ්ච ජඤ්ඤා අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්‍වා අපසාදනඤ්ච ඤත්‍වා, නෙවුස්සාදෙය්‍ය න අපසාදෙය්‍ය, ධම්මමෙව දෙසෙය්‍යා’ති). ඒ ආකාරයට ම ධර්මය ඉගෙන ගැනීම පිළිබඳව මෙසේ අලගද්දූපම සූත්‍රයේ සඳහන් වේ.  

“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො අලගද්දත්‍ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො – සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං, තමෙනං අජපදෙන දණ්ඩෙන සුනිග්ගහීතං නිග්ගණ්හෙය්‍ය, අජපදෙන දණ්ඩෙන සුනිග්ගහිතං නිග්ගහෙත්‍වා ගීවාය යුග්ගහීතං ගණ්හෙය්‍ය; කිඤ්චාපි සො භික්ඛවෙ අලගද්දො තස්ස පුරිසස්ස හත්‍ථං වා බාහං වා අඤ්ඤතරං වා අඞ්ගපච්චඞ්ගං භොගෙහි පලිවෙඨෙය්‍ය, අථ ඛො සො නෙව තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු: සුග්ගහීතත්තා භික්ඛවෙ අලගද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති, සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්‍වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්‍ථං උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්‍ථං උපපරික්ඛතං නිජ්ඣානං ඛමන්ති. තෙ න චෙව උපාරම්භානිසංසා ධම්මං පරියාපුණන්ති න ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්‍ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්‍ථං අනුභොන්ති. තෙසං තෙ ධම්මා සුග්ගහීතා දීඝරත්තං අත්‍ථාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: සුග්ගහීතත්තා භික්ඛවෙ ධම්මානං. තස්මාතිහ භික්ඛවෙ යස්ස මෙ භාසිතස්ස අත්‍ථං ආජානෙය්‍යාථ තථා නං ධාරෙය්‍යාථ. යස්ස ච පන මෙ භාසිතස්ස අත්‍ථං න ආජානෙය්‍යාථ අහං වා පටිපුච්ඡිතබ්බො යෙ වා පනාස්සු වියත්තා භික්ඛූ.” 

“මහණෙනි, යම්සේ පුරුෂයෙකුට සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති වූ විට ඔහු සර්පයන් සෙවීමෙහි යෙදුනාහු වෙයි. හෙතෙම විශාල සර්පයෙක් දකින්නේ ය. ඔහු ඒ සර්පයා කරුවක් වැනි දණ්ඩක් භාවිතයෙන් මැනවින් දැඩිව අල්ලන්නේය. එම දණ්ඩ මැනවින් භාවිතකර, සර්පයාගේ ගෙල ප්‍රදේශය මැනවින් අල්ලාගන්නේය. ඒ සර්පයා ඔහුගේ අත හෝ බාහුව හෝ ශරීරයේ කොටසක් හෝ වෙළා ගන්නේය. එසේ වුවත් ඒ හේතු කොටගෙන මරණයට හෝ මරණය සමාන දුකකට පත්නොවන්නේය. ඒ කවර හෙයින්ද යත් මහණෙනි, සර්පයා මනාව අල්ලාගත් බැවිනි. එලෙසින්ම ඇතැම් කුළ පුත්‍රයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්මයන් ඉගෙන ගනිති. ඔහු ඒ ධර්මය ඉගෙන ගැනීම් වශයෙන් ප්‍රගුණ කොට, එහි අර්ථය එම ධර්මයට ම යොමුවී සොය යි. එසේ ධර්මයටම ළංවී අර්ථ සොයන නිසා එම ධර්මයට ම අනුගත වී බැලීම සිදුවේ. ඔවුහු චෝදනා කිරීම ට හේතු වන ලෙස ධර්මය ඉගෙනනොගෙන අන්‍යයන්ගේ වාදයෙන් මෙසේ මිදෙමු’යි සිතා ධර්මය ඉගෙන නොගනිති. යම් අර්ථයක් පිණිස ධර්මය ඉගෙන ගනීද, එම අර්ථය සඳහා යොමු වේ. මැනවින් උගත් ධර්‍මයෝ නිසා ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස ම පවතියි. ඒ කවරහෙයින්ද යත්, මහණෙනි, ධර්‍මය මැනවින් උගත් බැවිනි. එහෙයින් මහණෙනි, මේ මාගේ භාෂිතයේ යම් අර්ථයක අවබෝධය කරා යොමුවේ ද, එය එසේ දරව්. මා දේශනා කළ ධර්මයේ එම අර්ථය අවබෝධ නොවේ නම් එය මගෙන් හෝ අසව්, එසේත් නැත්නම් ව්‍යක්ත භික්ෂුවකගෙන් අර්ථය අසව්.” 

සර්පයන්ගේ අවශ්‍යතාවක් ඇති කෙනෙක් පමණි; සර්පයන් ඇල්ලීමට යොමු වන්නේ. අන් අය යොමු නොවේ. සර්පයන්ගේ අවශ්‍යතාව තිබුණ ද ඒ පිළිබඳව අදක්ෂ නිසා සර්පයාගේ විෂ නැති නගුට ප්‍රදේශයෙන් අල්ලන විට දෂ්ට කිරීමෙන් ඔහුව විනාශ වේ. එමෙන්ම ධර්මය ම සොයන කෙනෙක් ධර්මය නිවැරදිව ම ඉගෙන නොගත්තේ නම් ඔහු විනාශ වේ. ධර්මය නො සොයන අය තමන්ට වැටහෙන සරල ආකාරයට ධර්මය ඉගෙන ගනිති. මන්ද යත් ඔහු ධර්මය නොසොයන නිසා ය. නමුත්, ධර්මය සොයන කෙනා තමන්ට වැටහෙන හා තමන්ට පහසුවෙන් වටහාගත හැකි දේ අනුව ඉගෙන ගැනීමට යොමු නොවේ. තමන්ට අනුව කටයුතු කරන විට තථාගත දහම මඟ හැරීම සිදුවීම මෙන්ම සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කිරීම මෙන්ම ඒ තුළින් අකුසල් රැස්වීමද සිදුවේ. සර්පයාගේ නගුටෙන් පහසුවෙන් ඇල්ලීමට හැකිවනවා මෙන්, හිස් පුරුෂයා ධර්මයේ ද වැටහෙන හා පහසුවෙන් පුරුදු කළ හැකි දේට අනුව යොමු වේ. නමුත්, නිවැරදිව ඉගෙන ගන්නා විට, සර්පයා කරුවෙන් අල්ලන විට තමා වෙළාගන්නා සේ ධර්මය විසින් තමාව ඒ දෙසට යොමුකරගනී. මේ ආකාරයට මනාව පෙන්වූ සක්කාය නිරෝධ කරන දහමක් නිසාම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ඉස්මතුවීම සිදුවේ. එම සම්බුද්ධත්වය පිළිබඳව ඉදිරි ලිපියෙන් සාකච්ඡා කරමු.  


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 7

බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කොට වදාළ ධර්මය කොතරම් අවධානයකින් ඉගෙන ගත යුතුද යන්න කලින් පෙන් වූ කරුණු අනුව හොඳින් ඉස්මතු විය. මේ ආකාරයට ඉතාම අවධානයෙන් ධර්මය ඉගෙන ගත යුතු වන්නේ එය ලෝකයේ කිසිවෙකුට සමාන කළ නොහැකි උත්තමයාගේ පෙන්වීමක් වූ බැවිණි. පසේ බුදුරජාණන් වහන්සේ තනිවම ධර්මය අවබෝධ කරගෙන නිවීම පසක් කළ සේක. බුදුරජාණන් වහන්සේ ත් තනිවම ධර්මය අවබෝධ කරගෙන නිවීම පසක් කළ සේක. මෙම කරුණු අනුව පසේ බුදුරජාණන් වහන්සේ හා බුදුරජාණන් වහන්සේ අතර වෙනසක් නොමැත. එමෙන්ම, බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා ද නිවීම පසක් කරගෙන සිටිති. ඒ කරුණු අනුව ද බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ අතර වෙනසක් නොමැත.  

“තථාගතො භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා. අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ගකොවිදො, මග්ගානුගා ච භික්ඛවෙ, එතරහි සාවකා විහරන්ති, පච්ඡා සමන්නාගතා. 

අයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පායො, ඉදං නානාකරණං තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පඤ්ඤාවිමුත්තෙන භික්ඛුනාති.” 

“මහණෙනි, තථාගත වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය  උපදවන්නාහ, හටනොගත් මාර්ගය මනාව උපදවන්නාහ, ප්‍රකාශ නොකළ මාර්ගය ප්‍රකාශ කරන්නාහ, මාර්ගයෙහි දන්නා, මාර්ගයෙහි දක්ෂය. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ ඒ මාර්ගය අනුව වාසය කරති, පසුව යුක්ත වූ අය වෙති.  

මහණෙනි, තථාගත වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ ප්‍රඥා විමුක්ත භික්ෂූන්ගේ ත් මෙය විශේෂය වේ. මෙය අභිප්‍රායයි. මෙය වෙනස්කමයි.” 

මේ සියලු කරුණු අනුව රහතන් වහන්සේ හා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතර ‘අවබෝධය’ අනුව වෙනසක් නොමැති බව හොඳින් වැටහේ. එමෙන්ම තනිව ම අවබෝධ කිරීම සමඟ බලන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේගේ අතර ද වෙනසක් නැති බව ද පැහැදිලි වේ. මේ අවබෝධයන් අතරින් විශේෂ ම ශ්‍රේෂ්ඨ ම වෙනස බවට පත් වන්නේ අවබෝධ කළ ධර්මය දේශනා කිරීමයි. සම්මා  සම්බුදුරජාණන් වහන්සේ විශේෂ වන්නේ එම දේශනා කරන දහම තුළින් ම පමණයි. ඒ දහම යනු ලෝකයෙන් එතෙර වන මාර්ගය ඉස්මතු කිරීම සඳහා, ලෝකයේ සිටින ශූරත්වය හා සතිමත් බවින් වැඩි විමුක්තිකාමී සමාජයේ මිනිසුන්ට ඒ සමාජයේ ව්‍යවහාරික භාෂාව තුළින් ම පෙන්වූ විශේෂ සන්නිවේදන ස්වභාවය යි. එනම් පහුරක් ලෙස පැනවූ විවර කර වූ වචන වලින් පැහැදිලි කළ ධර්මය යි. මේ ධර්මය පිළිබඳව එතරම් ම විශේෂ අවධානයක් යොමු කරමින් සූක්ෂමව අර්ථයන් සෙවීම සඳහා ම ඉගෙන ගතයුතු වේ. එසේ ඉගෙන නොගන්නේ නම් කිසිම විදියකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වීමට නොහැකි වේ. එමෙන්ම,  ඉන්දියාවේ මධ්‍ය  දේශයේ මිනිසුන්ගේ ගතිය වන සතිමත් බව, බ්‍රහ්මචාරිත්වය, ආදිය ට අනුව එකල පුරුදු කළ සීලය, බොජ්ඣංග ආදිය භාවිත  කිරීම පමණක් සිදු වේ.  

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු විය හැක්කේ, සත්‍ය ආරක්ෂා කරන අයට පමණක් ම වේ. සත්‍ය ආරක්ෂා කරන අය තුළ ඇති විශේෂ ලක්ෂණයක් චංකී සූත්‍රය තුළ දී පෙන්වා දී ඇත.  

“සද්ධා චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, ‘එවං මෙ සද්ධා’ති ඉති වදං සච්චමනුරක්ඛති, න ත්‍වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. එත්තාවතා ඛො භාරද්වාජ සච්චානුරක්ඛනා හොති. එත්තාවතා සච්චමනුරක්ඛති. එත්තාවතා ච මයං සච්චානුරක්ඛනං පඤ්ඤාපෙම. න ත්‍වෙව තාව සච්චානුබොධො හොති. රුචි චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- අනුස්සවො චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- ආකාරපරිවිතක්කො චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- දිට්ඨිනිජ්ඣානක්ඛන්ති චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති ‘එවං මෙ දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති ඉති වදං සච්චමනුරක්ඛති න ත්‍වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. එත්තාවතා ඛො භාරද්වාජ, සච්චානුරක්ඛනා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛනං පඤ්ඤාපෙම. න ත්‍වෙව තාව සච්චානුබොධො හොතී’ති.” 

“භාරද්වාජ, පුරුෂයෙකුට ශ්‍රද්ධාව ඇතිවූයේ වෙයි. එවිට, මෙසේ ශ්‍රද්ධාවෙන් සත්‍යය රකින්නේ යැයි කියනු ලැබේ. එසේ වුවද එතෙකින්ම එකරුණට ඒකාන්තයෙන් “මෙය ම සත්‍ය යැයි ද, අන් ඒවා හිස් යැයි” නිෂ්ඨාවට නොයයි. එතෙකින්ම සත්‍ය ආරක්ෂා කරන්නේ වෙයි. මෙතෙකින්ම සත්‍ය ආරක්ෂා කිරීම පනවන්නේ වෙයි. මෙතෙකින්ම සත්‍ය අවබෝධ නොවේ. භාරද්වාජ, පුරුෂයෙකුට කැමැත්ත ඇතිවූයේ වෙයි…අසා දැනගත් දේ අනුව වූයේ වෙයි… කල්පනා කරන ආකාරය අනුව වූයේ වෙයි… නිෂ්ඨාව ඇතිවූ දකින විධිය අනුව යොමුවූයේ වෙයි. එවිට මෙසේ නිෂ්ඨාව ඇතිවූ දකින විධිය අනුව සත්‍යය රකින්නේ යැයි කියනු ලැබේ. එසේ වුවද එතෙකින්ම එකරුණට ඒකාන්තයෙන් “මෙය ම සත්‍ය යැයි ද, අන් ඒවා හිස් යැයි” නිෂ්ඨාවට නොයයි. එතෙකින්ම සත්‍ය ආරක්ෂා කරන්නේ වෙයි. මෙතෙකින්ම සත්‍ය ආරක්ෂා කිරීම පනවන්නේ වෙයි. මෙතෙකින්ම සත්‍ය අවබෝධ නොවේ.” 

යම් කාරණාවක් ශ්‍රද්ධාව අනුව එනම් තව කෙනෙක් කියන එක විශ්වාස කිරීම මත පිළිගන්නා අතර එයම ‍සත්‍ය යයි, අන් ඒවා අර්ථ ශුන්‍ය යැයි යන හැඟීම ඇති නොවේ. එසේ වන්නට හේතු වන්නේ, ඔහු තුළ ‍සත්‍ය රකින ගතිය හා ‘කිං කුසල ගවේෂී’ යන සත්‍ය ගවේෂණාත්මක විචක්ෂණශීලී බව තිබෙන නිසාය. යම් කරුණක් තව කෙනෙක් කෙරෙහි විශ්වාසය තුළින් පිිළිගෙන, එයම සත්‍ය යැයි බව බැසගත් විට තමාට යමක් හමුවී ස්වකීයත්වයට සාධාරණීකරණය කරගැනීමක් ඇති වේ. එවිට විමසන බව නැති වී, යමක් තුළ බැස ගෙන වාසය කරයි. එවැන්නකුට තථාගත දහම වූ ස්වකීයත්ව‍ය ඉක්මවන ‘සක්කාය නිරුද්ධ’ වන දහමට යොමු විය නොහැකි වේ. එමෙන්ම තමන් කැමති වන විදියට යමක් හමු වූ විට එය පිළිගන්නා අතර සත්‍ය රකින්නාට එයම සත්‍ය යැයි, අන් ඒවා අර්ථ ශුන්‍ය යන හැඟීම ඇති නොවේ. මෙම චින්තනය ඇති කෙනෙකුට ගැඹුරු වූ තථාගත දහමට අනුව වීමංසනය ඇති කරගත හැකිවේ. තමන් අසා දැනගත් කරුණු වලට ගැලපෙන දහම් පරියායක් ඇසෙන විට එය පිළිගන්නා අතර, එයම සත්‍ය‍ යැයි අන් ඒවා හිස් යන හැඟීම ඇති නොවන්නා සත්‍ය රකින පුද්ගලයා වේ. එසේ නොවී එයටම බැස ගෙන තම තමන්ගේ ස්වකීයත්වය අනුව සතුටු වන අයට බුදුවරුන්ගේ ධර්මය කොපමණ ඇහුව ද අවබෝධ කර ගැනීමට නොහැකි වේ. තව කෙනෙක් පැහැදිලි කරන දහම් පරියායක් තමන් කල්පනා කරන රටාවට ම ගැළපෙන විට ඒ කරුණු ගෙන ‘එය ම  සත්‍ය යයි අන් ඒවා හිස්’ යන හැඟීම ඇති නොවන කෙනාට තථාගත දහම ඇසෙන විට ඒ දහමට අනුව විමසීම සිදු වේ. 

නමුත් තමන් කල්පනා කරන ක්‍රමයට ගැලපෙන විග්‍රහයක් ඉගෙන ගන්නා විට එයටම යොමුවී බැසගෙන වාසය කරන අය ස්වකීයත්වය හොඳින් තහවුරු කරගෙන පිරිසිුදු බුදු වදන ඇසීමට පවා කන් යොමු නොකරයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුවේ ද අතීතයේ ව්‍යවහාරික භාෂාව වන පාලි භාෂාවෙන් සහ එම සමාජය භාවිත කළ ව්‍යවහාරික අර්ථවත් වූ වචන පාදක කරගෙනය. එම ව්‍යවහාරික අර්ථවත් වූ වචනවලින් ඇසෙන ධර්මය තුළින් ද ඒ ඒ සමාජය තුළ ඉස්මතුවන කරුණු තම තමන්ට වටහාගත හැකි වේ. එනමුදු බුද්ධ වචනයට යොමුනොවේ. මෙලෙසට යම් ධර්මයක් ශ්‍රවනය කර එයටම යොමු වී කල්පනා කරන විට තම තමන්ට නිරවුල්ව ඇතුළතින් දකින විධිය අනුව එම කරුණු නිරවුල් වී එයම පිළිගනු ලැබේ. සත්‍යවාදී නොවන කෙනා එයම සත්‍ය වශයෙන් බැසගෙන ස්වකීයත්වය තහවූරු කරගනු ලැබේ. නමුත් තථාගත දහමට යොමු නොවේ. එනමුත් සත්‍යවාදී කෙනා එසේ තමා දකින විධියට නිරවුල් වී, පිළිගත් දහම ම සත්‍යය අන් ඒවා අර්ථ ශුන්‍යය යන හැඟීම ඇති නොවේ. මේ ආකාරයට ‘සද්ධා, රුචි, අනුස්සවො, ආකාරපරිවිතක්කො, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති’ තුළින් පිළිගන්න ධර්මය සත්‍ය යයි, අන් එවා අර්ථ ශුන්‍යය යන හැඟීම ඇති නොවේ. සත්‍ය රකින, කුසලය සෙවීෙමේ චින්තනය ඇති අය සඳහා තථාගතයන් වහන්සේ ගම්භීර ධර්මය වදාළ සේක. එම ගම්භීර ධර්මය මෙවැනි කෙනෙකුට ඇසෙන විට ශ්‍රද්ධාව ඇතිවේ. මෙසේ ශ්‍රද්ධාව ඇතිවීම පිළිබඳව ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 8

විමුක්තිකාමී පරිසරයක් තුළ උපදින විමුක්තිකාමී චින්තනයක් ඇති මිනිස්සුන් දුක් සහිත සංසාරයෙන් එතෙර වීම සඳහා විවිධ ප්‍රතිපදාවෝ අනුගමනය කරති. එම සියලු ම ප්‍රතිපදාවන් තමන්ම මැදිහත් වී සිදු කරන අතර එයින් තම තමන්ට ප්‍රතිඵල ලැබී, කල්ප ගණනකට රැකවරණය සලසාගනී. එලෙස සිදුකරන සියලුම ප්‍රතිපදාවන් තුළ ඉස්මතු වන ධර්ම-විනය තම තමන්ට වැටහෙන කරුණුම ය. තමන් ඉන්නා වූ ස්වභාවය ඉක්මවා ඉතාම ප්‍රණීත ස්වභාවයන්ට පත්වේ. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තම තමන්ගේ රාමුවට හමුවන්නක් නොවේ. තම තමන්ගේ රාමුවට ගෝචර නොවන පැහැදිලි කිරීමකි. සත්‍ය සොයන, සත්‍ය රකින, චින්තනය ඇති කෙනා සද්ධා රුචි අනුස්‍රව ආකාරපරිවිතක්ක දිට්ඨිනිජ්ඣානඛන්ති තුලින් තමාට වැටහුණු කරුණු ම සත්‍ය වශයෙන් බැස නොගන්නා අතර තමාගේ කෝණයට හමුනොවන ධර්මයක් ඇසුන විට එය ඔහුගේ සත්‍ය ගවේෂී චින්තනයට අනුරූපව වැඩපිළිවෙළක් බවට පත්වේ. තම තමන්ගේ රාමුවට ගෝචර නොවන ඇසෙන ධර්මයක්  ‘අභි’ නොහොත් ගම්භීර, ගැඹුරු යන නිර්වචනය යෙදේ. යම් ධර්මයක් තම තමන්ට වැටහෙන්නේ නම් එම ධර්මය ‘අභි’ධර්මය හෝ ගැඹුරු ධර්මය ලෙස නිර්වචනය කළ නොහැක. මන්දයත් ‘අභි’ධර්ම යන වචනයට කිසිදු තාත්වික අර්ථයක් තම තමන්ට වැටහීම තුළින් ඉස්මතු නොවේ. එය ‘අභි’ධර්මය යනු හුදු නම් කිරීමකට පමණක් සීමාවීමක් නොවේ. එමෙන්ම එය තම තමන්ට තේරෙන විග්‍රයක්ද නොවෙයි. අර්ථයෙන්ම ප්‍රායෝගිකවම ‘අභි’ධර්මයක් ම විය යුතුයි. එනම් තම තමන්ගේ රාමුවට හසුනොවී චින්තනයක් ඉදිරියට යොමුවන අර්ථාන්විත ප්‍රායෝගික පැහැදිලි කිරීමකි.      

එලෙස වූ ගැඹුරු ධර්මයක් ඇසෙන විට, එය තමාට ලැබෙන්නක් නොවී, අර්ථයෙන් ප්‍රායෝගිකව ම ගැඹුරු බවම ඉස්මතු වී ‘තමා’ යන හැඟීමට දැකීමට දුෂ්කර බව හා අවබෝධ කිරීමට දුෂ්කර බව තාත්වික ම සිදුවේ. එබැවින් එම ධර්මය දුද්දස (දකින්න දුෂ්කර) දුරනුබෝධ (අවබෝධ කිරීමට දුෂ්කර) වූ දහමක් වේ. තථාගතයන් වහන්සේ පෙන්වා වදාරන්නේ ‘සක්කාය නිරෝධ’ කරන දහමකි. මෙම දහම ඇසීමට ලෝකයා කන් යොමු නොකරන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. 

“සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති.” (මහාමාලුඞ්ක්‍ය සූත්‍රය, ම. නි.2)

“සක්කාය නිරෝධය පිණිස ධර්මය දේශනා කරන විට සිත එයට බැස නොගනී ද, නො පහදී ද, නො පිහිටයි  ද, නො මිදෙයි ද වෙයි.” 

 සක්කාය යනු ස්වකීයත්වයයි. තමාට යමක් හමුවීම ම ස්වකීයත්වය ම වේ. ස්වකීයත්වය තහවුරු වන දහම් පරියායක් ඉදිරිපත් වන්නේ නම් එය ස්වකීයත්වය නිරුද්ධ වන දහම් පරියායක් නොවේ. එනම් සක්කාය නිරෝධය පෙන්වන දහමක් නොවේ. සක්කාය නිරෝධය නම් වූ ස්වකීයත්වය නිරුද්ධ වන දහම් පරියායක් අසන විට තමාට වැටහෙන යමක් නොලැබීම ම ගැඹුරු ධර්මයක් වන අතර, තමාට දැකීමට හෝ අවබෝධ කිරීමට දුෂ්කර වන බැවින් දුද්දස දුරනුබෝධ වේ.   

“යෙ ඛො ත්‍වං උපාලි ධම්මෙ ජානෙය්‍යාසි “ඉමෙ ධම්මා න එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි ධාරෙය්‍යාසි: නෙසො ධම්මො, නෙසෙ විනයො, නෙතං සත්‍ථුසාසනන්ති. යෙ ච ඛො ත්‍වං උපාලි, ධම්මෙ ජානෙය්‍යාසි: “ඉමෙ ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී”ති, එකංසෙනුපාලි, ධාරෙය්‍යාසි: එසො ධම්මො, එසො විනයො, එතං සත්‍ථුසාසනන්ති.” (සත්‍ථුසාසන සූත්‍රය, අ.නි.4)

උපාලියෙනි, “මේ ධර්‍මයෝ ඒකාන්තයෙන්ම නිබ්බිදාව  පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස, විශේෂ ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස නො පවතීනම් එය ඒකාන්තයෙන් ම , ධර්මය නොවේ, විනය නොවේ, ශාස්තෘ ශාසනය නොවේ යැයි දරාගත යුතුය. මේ ධර්‍මයෝ ඒකාන්තයෙන්ම නිබ්බිදාව  පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස, විශේෂ ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස පවතීනම් එය ඒකාන්තයෙන් ම , ධර්මය වේ, විනය වේ, ශාස්තෘ ශාසනය වේ යැයි දරාගත යුතුය. 

යම් ධර්ම විනයක් ඉගෙන ගන්නා විට එය ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාව, විරාගය, සංසිදීම, විශේෂ ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස නොපවතින්නේ නම් එය ශාස්තෘ ශාසනයත්, ධර්ම විනයත් නොවන බව පෙන්වා වදාළේ උපාලි ස්වාමීන් වහන්සේට ය. ලෝකයෙන් එතෙරවීම පිණිස නොපවතින, තමාට වැටහෙන යම් ධර්ම විනයක, තථාගත ධර්ම විනයත්, ශාස්තෘ ශාසනයත් නොමැති බව මේ තුළින් මනාව පැහැදිලි වේ. සක්කාය අනුව පවතින ධර්ම විනයන් තුළ ගැඹුරු, දකින්නට දුෂ්කර, අවබෝධකිරීමට දුෂ්කර බව ඉස්මතු නොවන අතර තම තමන් කල්පනා කරන ආකාරයට ගෝචර වේ.  

සක්කාය නම් වූ ස්වකීයත්වය අනුව කල්පනා කරන ක්‍රමය ‘තර්කය’ වෙයි. එනම්, තමාගේ රාමුව තුළ ඇති කරුණු සමග ගැලපෙමින් සිදුවන කල්පනාවයි. තථාගත දහම සක්කාය නිරෝධ වන පරියායක් බැවින් තර්ක කිරීමට අවකාශය ඇති නොවේ. එනම් නිවැරදිව අවධානයෙන් සත්‍ය ගවේෂීත්වයෙන් ධර්මය අසන විට ස්වකීය රාමුව සමඟ එක්වී, සිතීමට කිසිදු කරුණක් ඉස්මතු නොවේ. එනම් තර්කයේ හැසිරීමක් සක්කාය නිරෝධ දහම තුළ ඇති නොවේ. තර්ක නොකිරීමක් නොව තර්කයේ හැසිරීමකටම අවකාශ රහිත වේ. ‘අතක්කාවචර’ යනු තර්ක නොකිරීමක්  යන අර්ථය නොවේ. ‘තර්කයේ හැසිරීමක් නොමැත’ යන අර්ථය යි. සක්කාය නම් වූ ස්වකීයත්ව නිරෝධ ධර්මය තුළ ‘අතක්කාවචර’ අර්ථය ඉස්මතු වේ. සත්‍ය ගවේෂකයන් එම ධර්මය අසන විට ඔහුගේ චින්තන ස්වභාවය, අතක්කාවචර දහමට අනුගත වන අතර ඔහුට ‘තමාගේ’ අත්දැකීමකට එම කරුණු ගෝචර නොවේ. තමාගේ චින්තන ස්වභාවයට යමක් තුළ බැස නොගන්නා බැවින්ද, බැස ගැනීමෙන් සතුටට පත් නොවන බැවින්ද, බැස ගැනීමක්, හෝ වැටහීමක්, තමන්ට ප්‍රකට නොවන දහම අසන විට එය ‘ශාන්ත’, ‘ප්‍රණීත’ බවම වැටහේ. එම නිසා එම දහම සන්තපණීත වේ. සක්කාය නිරෝධ දහම ශාන්ත, ප්‍රණීත බව සත්‍ය ගවේෂකයන්ගේ එම චින්තන ස්වභාවයට ප්‍රකට වන විට තීක්ෂණ නුවණකට පමණක් දැකිය හැකි බවත්, මනා නුවණක් සහිත වූ පණ්ඩිත බවකට අවබෝධ කරගත හැකි බවත් වැටහේ. එබැවින් එම දහම ‘නිපුණෝ’ ‘පණ්ඩිත වේදනීය’ ලෙස පැහැදිලි වේ.  

“යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති. ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො, න සො ධම්මො සුදෙසියො මූළ්හෙනා’ති. තො නං සමන්නෙසමානො විසුද්ධං මොහනීයෙහි ධම්මෙහි සමනුපස්සති. අථ තස්මිං සද්ධං නිවෙසෙති. සද්ධාජාතො උපසඞ්කමති.”  (චඞ්කී සූත්‍රය, ම.නි.2)

මේ ආයුෂ්මතුන් යම් දහමක් දෙශනා කරත්ද එම දහම ගම්භීර ය,  දකින්නට දුෂ්කර ය, අවබෝධකිරීමට දුෂ්කර ය, ශාන්ත ය, ප්‍රණීත ය, අතක්කාවචර ය, නිපුණ ය, පණ්ඩිතයන් විසින් අවබෝධකළ යුතුය. මොහයෙන් යුක්තවූවහුට එම දහම සුවසේ දේශනා කළ නොහැක. මෙලෙසට යමෙක් හොඳින් සොයාබලන විට මෝහ ධර්මයන් ඉක්මවන බව මනාව ඒ අනුව දකී. එකල්හි ඔහු කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවයි. ශ්‍රද්ධාවෙන්ම ඔහු කරා යොමුවේ. 

මේ ආකාරයට සත්‍ය රකින ‘කිං කුසල ගවේසී’ සහ ‘සත්‍යය ගවේශී’ චින්තනය ඇති කෙනෙකුට ගම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපණීත නිපුන පණ්ඩිතවේදනීය වූ තථාගත දහම යම් කල්‍යාණ මිතුරකුගෙන් ඇසෙන විට එම කල්‍යාණ මිතුරා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වේ. එසේ ශ්‍රද්ධාව ඇති වූ විට එම කළ්‍යාණ මිතුරා කෙරෙහිම වූ යොමුවීමක් ද ඔහුගේ වචනයටම අවනත වීමක් ද සිදුවේ. සැබෑවට ශ්‍රද්ධාව තුළ පිහිටීම යනු එසේ සිදුවන ගෞරවාන්විත සුහදශීලී මෙන්ම ඔහුට ම අවනත වී සිදුවන ඇසුරු කිරීමයි.     

මේ ආකාරයට ඇසුරු කිරීමෙන් දහමට යොමුවන ආකාරය ඉදිරියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 9

තථාගත දේශිත ගම්භීර දහම කල්‍යාණ මිතුරෙකුගෙන්, සත්‍ය රකින ප්‍රඥාවන්තයකු ට ඇසෙන විට ඔහු තුළ ඇති චින්තන ස්වභාවයට අනුරූප වී ධර්මයට අනුව ම වූ මනසිකාරය වන යෝනිසෝ මනසිකාරය උපදී. එලෙසට යෝනිසෝමනසිකාරයක් සිදු වන්නේ සක්කාය නිරෝධය නම් වූ ස්වකීයත්වය ඉක්මවන දහමට ම අනුව වේ. එම ස්වකීයත්වය ඉක්මවන දහමට අනුව ප්‍රතිපදාවද  ඒ තුළින්ම අර්ථාන්විත වේ. එනම් ස්වකීයත්වය ඉක්මවන ලෙසට ම ප්‍රතිපදාව සිදුවේ. එනම්, ධම්මානුධම්ම ප්‍රතිපදාව වේ. එහි මූලිකම පටන්ගැනීම වන්නේ ස්වකීයත්වය නම් වූ තමන්ට කිසිඳු වටිනාකමක් නොදී එම දහම ඉස්මතු කළ කල්‍යාණ මිතුරාට ම නැඹුරු වීමයි. එසේ වන්නේ කල්‍යාණ මිතුරාගෙන් ඉස්මතු වන්නේ එම සක්කාය නිරෝධ ධර්මය නිසාවෙනි.  

“සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.”  (ඵල සූත්‍රය)  

“මහණෙනි, සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, යොනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය යන මේ දහම් සතර, භාවිත බහුලීකත කිරීමෙන් සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවති යි.” 

බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය නිරෝධ ධර්මයට යොමු වීමට ත්, එය භාවිත කරමින් එතෙරවීම දක්වා ම මුළුමනින් ම හේතුකාරක ධර්මය වන්නේ, කල්‍යාණ මිතුරාට යොමු වී සිටීමයි. එම ප්‍රතිපදාව ධර්මය ඇසුන මොහොතේ පටන් නිවීම තෙක්ම, ප්‍රායෝගිකව සිදු වන්නේ ස්වකීයත්ව නිරෝධය නම් වූ ප්‍රතිපදාව අර්ථාන්විත වීමයි. 

“සකලමෙව හිදං ආනන්‍ද, බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා. ” (උපඩ්ඩ සූත්‍රය

“ආනන්ද, කළ්‍යාණ මිත්‍රයන් ඇති බව, කළ්‍යාණ යහළුවන් ඇති බව, කළ්‍යාණ මිත්‍රයාට නැමුණු බව, යන මේ කාරණාව මත සම්පූර්ණයෙන් ම ආර්‍ය මාර්ගය පවතී.” 

“ඉමස්ස ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්‍ද්‍රියානි සමන්නානයමානො යස්සත්‍ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරෙය්‍යාති.”  (කීටාගිරි සූත්‍රය

“මහණෙනි, මේ භික්ෂුවට (කායසක්ඛි, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත, ධම්මානුසාරී, සද්ධානුසාරී) අප්‍රමාදීව කළයුත්තක් ඇතැ’යි කියමි.  ඒ කවර හෙයින් ද යත්:  මේ ආයුෂ්මතුන් අනුලෝම සෙනසුන් සේවනය කරමින් ද, කළ්‍යාණ මිතුරන් සේවනය කරමින් ද, ඉන්‍ද්‍රියයන් සමඟ අනුගත වෙමින් ද , කුලපුත්‍රයෝ ගිහි ගෙය අත්හැර පැවිදි වූයේ යම් අර්ථයක් සඳහා ද, ඒ උතුම් බ්‍රහ්මචරිය අවසානය දිටුදැහැමෙහි ම අවබෝධ කොට සාක්ෂාත් කොට වාසය කරයි.” 

කළ්‍යාණ මිත්‍රයාගේ වටිනාකම ඉහත දේශනා තුළින් හොඳින් පැහැදිලි වේ.  

සක්කාය නිරෝධ තථාගත දහම සත්‍ය ගවේශකයෙකුට කල්‍යාණ මිතුරාගෙන් ඇසුන විට, ඒ දහමට අනුව වූ විචක්ෂණශීලී බවින් යුතුව, ඉතාම ආදර ගෞරවයෙන් යුතුව එම කල්‍යාණ මිතුරාගේ ඇසුරට යොමු වේ.  

“අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්‍රහ්මචාරිං, යත්‍ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති. පෙමඤ්ච ගාරවො ච, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්‍වා පරිපුච්ඡති, පරිපඤ්හති. ඉදං භන්තෙ, කථං? ඉමස්ස ක්‍වත්‍ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති. අනුත්තානීකතං ච උත්තානීකරොන්ති. අනෙක විහිතෙසු කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති” (ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය

“යම් වූ ගරුකටයුතු සබ්‍රහ්මචාරීන්වහන්සේ නමක් කෙරෙහි, යටහත් පහත්ව අධික ලැජ්ජා භයකින් යුතුව එළඹෙන්නේ වෙයි. කලින් කලට එතුමන් කෙරෙහි ප්‍රේමයෙන්, ගෞරවයෙන් යොමුවී, මෙසේ විමසයි, මෙසේ ප්‍රශ්න කරයි. ස්වාමීනී, මේ කුමක් ද?, මෙහි අර්ථය කුමක් ද?. එවිට ඒ ගුරුභවත්හු විවර නොවූව විවර කරති. ඉස්මතු නොවූව ඉස්මතු කර පෙන්වති. නොයෙක් වූ සැක ඇතිවන ස්වභාවයන්හි සැක දුරුකරවති.” 

ඉතාම ගෞරවාන්විතව සුහදශීලීත්වයෙන් හා විශ්වාසයෙන් යුතුව කල්‍යාණ මිතුරාට යොමු වන්නේ සත්‍ය ගවේෂී චින්තනයට අනුරූප වූ සක්කාය නිරෝධ දහමට ප්‍රායෝගිකව අර්ථය ඉස්මතුවෙමිනි. එලෙසට සුහදශීලී ඇසුර ඇති වූ විට එම උත්තම කල්‍යාණ මිතුරා විසින් පෙන්වා දෙන තථාගත ගම්භීර දහම ම ඇසීමට මනාව කන් යොමු කරයි. එමෙන්ම විවර නොවූ අර්ථයන් විවර කර ගැනීම සඳහා ප්‍රශ්න කරමින් ගෞරවාන්විතව දහම් පිළිසඳරෙහි ද යෙදෙමින් දහමින් යුතු ජීවිතය ගෙවයි.  

සුහදශීලී ඇසුරෙහි ඇති වැදගත්කම විනය පිටකයේ ඇති ආචාර්ය වත් පිළිවෙත් තුළින් මනාව ඉස්මතු වේ. තම  ආචාර්යයන් වහන්සේගේ සියලු ම කටයුතු කරමින් ගෞරවාන්විත ඇසුරක් ඇති වූ විට තම සිත මුළුමනින් ම ආචාර්යයන් වෙත යොමු වී ඇත. එලෙසට තමන්ගේ කටයුතුවලට වඩා සම්පූර්ණ ප්‍රමුඛ බව ආචාර්යයන් වහන්සේට ලබාදී ඇත්තේ ඉතාම ආදර ගෞරවයෙනි. එසේ සිදුකරන්නේ ගැඹුරු ධර්මයක් ඉස්මතු කරන ආචාර්යයන් වහන්සේගේ ඇති වැදගත්කම නිසාවෙනි. මෙලෙසට ජීවිතය ගත කරන ආකාරයක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ, ගැඹුරු තථාගත දහම ම ඇසීමට මෙන්ම, ඒ අනුව සිතීමට අවශ්‍ය ජීවිතයක් සකස් කිරීම සඳහා ය. මෙසේ ආචාර්ය වත කරමින් උපසම්පදා වී, වසර පහක් යනතුරු ආචාර්යයන් යටතේ සිටිය යුතු බව ද ධර්ම විනයේ විශාරද නොවූයේ නම්, ජිවීතාන්තය දක්වා ම ආචාර්යයන් යටතේ සිටිය යුතු බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.  

ඒ උතුම් දහම එකල පොත්පත්වල තිබුණේ නැත. එමෙන්ම පාලි භාෂාවට අකුරු ද නොතිබිණි. එක් වතාවක් යමක් ඇසුණු විට එය ඒ විදියට ම මතක තබා ගත යුතු ම වේ. එබැවින් තම තමන්ගේ අභ්‍යන්තරය තුළින් ම දහම ම මනාව ඇසීමට යොමු වී තිබිණි. ඉතාම ආදර ගෞරවයෙන් ඇසුරු කරන කල්‍යාණ මිත්‍රයා වන තමන්ගේ ආචාර්යයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරයි ද එම ධර්මය ඇසීමට පුදුමාකාර අවධානයක් යොමු වී තිබිණි. එමෙන්ම තම තමන් තම ආචාර්යයන්ගේ වත් පිළිවෙත් මනාව කළ යුතු ද බැවින් සෑම අවස්ථාවක ම ඇසූ ධර්මය සජ්ඣායනා කරමින් මතක තබා ගැනීමට අතපසු නොකළේය.  එමෙන්ම තම ආචාර්යයන්ගේ කටයුතු සිදු කරමින් සිටින බැවින් තම ජීවිතය ගැන වැදගත්කම ප්‍රායෝගිකව ඉස්මතු නොවූයේ අවංක වූ වැඩ පිළිවෙළිනි. මේ ආකාර වූ අවංක චින්තන ස්වභාවයකින් යුතු කෙනෙකුට ඉතාම වැදගත් ධර්මය, හොඳින් මතකයේ තබා ගත් විට එහි අර්ථය සෙවීමට පටන් ගන්නේ තමන්ගේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට නොව ධර්මයේ  වැදගත්කම ඉස්මතු කරගැනීමට ය. මෙසේ විමසන ධර්මය තුළ විවර නොවන අර්ථයන් විවර කර ගැනීම සඳහා ඉතාම ආදර ගෞරවයෙන් යුතුව ඇසුරු කරන කල්‍යාණ මිත්‍ර වූ තම ආචාර්යයන් වහන්සේ වෙත යටහත් පහත් ගතියෙන් යුතු වූ නිහතමානීකමින් යොමුවේ. මේ ආකාර වූ වැඩපිළිවෙළකින් ධර්මය අසන්නා වූ ඔහුට එම ධර්මය අවබෝධ කරගැනීමට එම වැඩපිළිවෙළ මහත් පිටිවහලක් වේ. 

මනාව ධර්මය අසන ආකාරයේ වැදගත්කම ඉදිරි ලිපියෙන් සාකච්ඡා කරමු.  


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 10 

“ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:  (සුස්සූසති සූත්‍රය

තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, අනත්‍ථං ගණ්හාති, අත්‍ථං රිඤ්චති, අනනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති.” 

“මහණෙනි,  කරුණු සයකින් යුක්තව ධර්මය අසන විට නිවැරදිව කුසල ධර්මයන්හි බැසගැනීම අභව්‍ය වේ. කුමන සයක්ද යත්:  

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය නොඅසයි, කන් යොමුනොකරයි, අවබෝධයට සිත නොපිහිටයි, අනර්ථය ගනී, අර්ථය අතහරී, ධර්මයට අනුලෝම වූ ඉවසීම නොවේ” 

“ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි: 

තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ සුස්සූසති, සොතං ඔදහති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, අත්‍ථං ගණ්හාති, අනත්‍ථං රිඤ්චති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති.” 

“මහණෙනි,  කරුණු සයකින් යුක්තව ධර්මය අසන විට නිවැරදිව කුසල ධර්මයන්හි බැසගැනීමට භව්‍ය වේ. කුමන සයක්ද යත්:  

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය අසයි, කන් යොමුකරයි, අවබෝධයට සිත පිහිටයි, අර්ථය ගනී, අනර්ථය අතහරී, ධර්මයට අනුලෝම වූ ඉවසීම ඇතිවේ” 

මෙහි සියලුම කරුණු තුළින්, මනාව ධර්මය අසන ආකාරයේ වැදගත්කම ඉස්මතු වේ. ධර්මය කොපමණ ඇසුවත් තථාගතයන් වහන්සේ වදාරන සක්කාය නිරෝධය නම් වූ ස්වකීයත්ව ඉක්මවන ධර්මය ඒ ලෙසටම අසන්නේ නැති නම්, ඔහු  සැබෑවටම ධර්මය නොඅසන කෙනෙකි. මන්දයත් ස්වකීයත්වය ඉක්මවන දහමෙහි ස්වකීයත්වයට අනුරූප වූ විග්‍රහයක් නොපවතී. ස්වකීයත්වය ඉක්මවන දහම අසන විට, ස්වකීයත්වයට (තමාගේ කෝණයට) අනුරූප වූ විග්‍රහයක් ලැබුණේ නම් ඔහු අශ්‍රැතවත් පෘථග්ජන වේ. ස්වකීයත්වය ඉක්මවන දහම ඒ ආකාරයට ම ඇසෙන විට තමන්ගේ රාමුවට අදාල වැටහීමක් නොලැබේ. එම ඇසීම තුළ ම සක්කාය නිරෝධ නම් වූ ස්වකීයත්වය නිරෝධ ප්‍රතිපදාව ඉස්මතු වේ. එසේ දහම අසන කෙනාට, ‘ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක’ ලෙස තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. කල්‍යාණ මිත්‍රයා වූ තම ආචාර්යයන් වහන්සේ සමග ආදර ගෞරවයෙන් යුතු වූ සුහදශීලී ඇසුරක් නොලබන විට, ඔහුට බාහිරින් ධර්මය ඇසුණත්, ස්වකීයත්ව නිරෝධ වූ ධර්මය අර්ථාන්විතව ඇසීමට යොමු වීමක් සිදු නොවේ. මෙය උපමාවක් තුළින් වටහා ගනිමු. 

උපමාව: 

“කිසි දිනෙක පාත්තරයක් නොදැකපු හා භික්ෂුන් නොදැකපු සුදු ජාතික පුංචි දරුවෙකුට කළු කරන ලද සුදුයකඩ පාත්‍රයක් දකින්නට ලැබේ. එම පාත්‍රය දකින විට තමන්ගේ ස්වකීයත්වය තුළ වූ ‘මුට්ටියක්’ බව ඔහු වටහාගෙන මුට්ටිය භාවිතයෙන් කළ හැකි සියලු ම දෑ ද කිරීමට හැකිවේ. එනම් ලිප මත තබා, සහල් දමා වතුර දමා රත් කරන විට බත් සකස් වන අතර එම බත් ආහාරයට ගෙන බඩ පුරවා ද ගත හැක. එම දරුවාගේ වූ ළදරුකම හා ස්වකීයත්වය තුළ වූ වටහා ගැනීම අනුව, තමන්ට මුට්ටියක් හමු වූ අතර ඒ තුළින් ප්‍රායෝගිකව උයන කටයුත්ත සිදු කරගෙන ලැබුණු ආහාර අනුභව කොට ප්‍රත්‍යක්ෂව ම ලැබුණු මුට්ටිය තුළින් වූ කටයුත්ත වී බඩගිනි නිවිණි. මේ  වූ කාරණය ශ්‍රද්ධාවන්ත කෙනෙක් දකින විට කුමක් සිතේවි ද ? පාත්‍රය යනු ගරු භාණ්ඩයකි. එය නිපදවන්නේ භික්ෂූන්ට දානය වැළඳීම සඳහා ය. එය ආරක්ෂා කර ගැනීමට විනය ශික්ෂාපද ද පනවා ඇත. මෙතරම් වූ ගරු භාණ්ඩයකට සිදුකරන අනර්ථයක ස්වභාවය යැයි සිතෙන එක සිදු වේ. එසේ සිතෙන එක සම්පූර්ණයෙන් ම නිවැරදි වේ. මන්දයත් එය නිෂ්පාදනය වූයේම ඒ සඳහා ම ය. එවැනි ගරු භාණ්ඩයක් බව නො දැන ගැනීම තුළින් සිදු වූ සියලු කටයුතු මහා අනර්ථකාරී ක්‍රියාවක් ම වේ. එහි වූ අර්ථාන්විත කටයුත්ත ද නොකරන ලදී. එනම් ගරු කිරීම, දන් වැළඳීම කිසිසේත් ම සිදු වී නැත.” 

මේ උපමාව ගැන ටිකක් කල්පනා කරන්න. මෙහි උපමේය මෙසේ වටහාගන්න. තායිලන්තයේ නිපද වූ සුදු යකඩ පාත්‍රය සක්කාය නිරෝධය නම් වූ ස්වකීයත්වය ඉක්මවන තථාගත දහම යි. පුංචි දරුවා යනු ස්වකීයත්ව නිරෝධය නම් වූ ධර්මයක් අසන්න අකමැතිව ධර්මය අසන කෙනා වේ. පාත්‍රය මුට්ටියක් ලෙස ලැබීම යනු ස්වකීයත්ව ඉක්මවන දහම ස්වකීයත්වයට වූ ගැළපීමෙන් වටහා ගැනීමයි. මුට්ටියේ සිදුවන කටයුත්ත සිදු වීම යනු ස්වකීයත්වයට අනුව සිල් රැකීම, පැවිදිවීම හා භාවනා කිරීම වේ. මුට්ටියේ වූ කාරණාව සිදුවී ආහාර අනුභවය යනු තමාට ඇසූ ධර්මය අවබෝධ වූ බවට වන අත්දැකීමයි. පාත්‍රය මුට්ටිය ලෙස ගෙන කටයුතු කිරීම යනු ස්වකීයත්ව නිරෝධ ධර්මය අසනවිට ස්වකීයත්වයට ගැලපීම යන මහා අනර්ථ යයි.  ශ්‍රද්ධාවන්ත කෙනා යනු ස්වකීයත්ව නිරෝධ ධර්මය අසමින් ප්‍රතිපදාවට අනුගත කෙනායි. ඔහු, ස්වකීයත්ව නිරෝධ ධර්මය  අසනවිට ස්වකීයත්වයට ගලපාගන්නා අය දෙස බලන විට ඔවුන් කරන දේ මහා අනර්ථයක් ලෙස දකී. 

මෙම උපමාව අනුව බලන විට, ස්වකීයත්වයට වැටහෙන ආකාරයට දහම අසන විට තමන්ට වැටහීම සමග අනර්ථය ලබාගෙන අර්ථය අතහැර දමා ඇත. එමෙන්ම ස්වකීයත්වය නිරෝධ ධර්මය ඇසෙන විට ශ්‍රවනය නොවුන බැවින් අශ්‍රැතවත් පෘතග්ජන වේ. නමුත් ස්වකීයත්වය නිරෝධ ධර්මය අසමින් අනර්ථය ගෙන පැවිදි ද වී සිල් ද රකිමින් භාවනා ද කරමින් සිටියි. ඒ බව කලින් ඉදිරිපත් කළ කරුණු සුනක්ඛත්ත සූත්‍රයෙන් මනාව පැහැදිළි වේ. 

“යම්සේ භූමිජ, තෙල් කැමැති, තෙල් සොයන, තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් සෙක්කුවෙහි වැලි දමා වතුර ඉසිමින්, කැමැත්තෙන් යුතුව අඹරන්නේ වෙයි. එසේ කැමැත්තෙන් වුවද කළ නමුදු තෙල් ලැබීමට අභව්‍ය වේ. කැමැත්ත නැතිව  සෙක්කුවෙහි වැලි දමා වතුර ඉසිමින්, අකැමැත්තෙන් යුතුව අඹරන්නේ වෙයි. එසේ අකැමැත්තෙන් වුවද කළ නමුදු තෙල් ලැබීමට අභව්‍ය වේ. කැමැත්ත ඇතිව හෝ නැතිව සෙක්කුවෙහි වැලි දමා වතුර ඉසිමින්, කැමැත්ත ඇතිව හෝ නැතිව යුතුව අඹරන්නේ වෙයි. එසේ කැමැත්ත ඇතිව හෝ නැතිව වුවද කළ නමුදු තෙල් ලැබීමට අභව්‍ය වේ. භූමිජ, ඒ කවර හෙයින්ද යත්, තෙල් ලබා ගැනීම සඳහා එය සුදුසු ක්‍රියාව නොවන හෙයිනි. එසෙයින්ම භූමිජ යම් කිසි භික්ෂුවක් හෝ බ්‍රහ්මණයෙක් හෝ මිච්ඡා දිට්ඨිය ඇතිව මිච්ඡා සංකල්පය ඇතිව, මිච්ඡා වචාව ඇතිව, මිච්ඡා කම්මන්තය ඇතිව, මිච්ඡා ආජීවය ඇතිව, මිච්ඡා වායාමය ඇතිව, මිච්ඡා සතිය ඇතිව, මිච්ඡා සමාධිය ඇතිව, කැමැත්ත ඇතිව බඹසර වසන්නේ නමුත් ඵල අධිගමයට අභව්‍ය වේ. කැමැත්ත නැතිව බඹසර වසන්නේ නමුත් ඵල අධිගමයට අභව්‍ය වේ. කැමැත්ත ඇතිව හෝ නැතිව බඹසර වසන්නේ නමුත් ඵල අධිගමයට අභව්‍ය වේ. භූමිජය ඒ කවර හෙයින්ද යත්, ඵල අධිගමයට හේතුවන කටයුතු නොකිරීමය. ” (භූමිජ සූත්‍රය

ආර්‍ය මාර්ගයේ සම්මා දිට්ඨිය ඇතිවීම සඳහා නිවැරදිව ධර්මශ්‍රවණය කොට යෝනිසෝමනසිකාරය ඉපදිය යුතුය. එසේ සම්මා දිට්ඨිය ඇතිවීම සඳහා යෝනිසෝමනසිකාරය ඉපදීමට ධර්මය හොඳින් ම ඇසිය යුතු වේ. ඒ වූ සම්මා දිට්ඨියෙන් යුතු මාර්ගය භාවිතය සිදුවීම තුළින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බඹසර වාසය තුළින් ඵල අධිගම ඇතිවේ. නිවැරදිව ධර්මය ඇසීමේ වැදගත්කම මේ තුළින් හොඳින් ඉස්මතු වේ. 

නිවැරදිව ධර්මය අසන විට ස්වකීයත්වය නිරෝධ ධර්මයට යොමුවන ආකාරය මීළඟ ලිපියේදී සාකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 11 

ලෝකය තුළ පෙන්වා දෙන යම් කරුණක් පවා වටහා ගැනීමට හොඳින් එය ඉගෙන ගතයුතු වේ. ලෝකයෙන් එතෙර වන කිසිසේත් ම තමාට ගෝචර නොවන, තථාගත දහමක් ඉගෙන ගැනීම සඳහා අධික ලෙස යොමු වූ අවධානය හා නීවරණයන්ගෙන් තොර එකඟ සිතක් අවශ්‍ය වේ. එකඟ සිතක් නොමැතිව තථාගත දහම කොපමණ ඇසුව ද, ඒ පෙන්වන දහම් කරුණු වටහා ගැනීමට කිසිසේත් ම නොහැකි වේ.  

 “කථං පරිභොති. කථිකං පරිභොති. අත්තානං පරිභොති. වික්ඛිත්තචිත්තො ධම්මං සුණාති අනෙකග්ගචිත්තො. අයොනිසො ච මනසිකරොති. 

ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.” 

(පළමුවැනි සම්මත්තනියාම සූත්‍රය – අනි3)    

“යමෙක් ධර්මය අසනවිට, ඇසෙන දෙයට පරිභව කෙරෙයි ද, ධර්‍ම කථිකයාට පරිභව කෙරෙයි ද, තමාට පරිභව කෙරෙයි ද, එකඟ නො වූ සිත් ඇති ව වික්‍ෂිප්ත සිතින් යුතුවෙයි ද, අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තවේ ද,  මහණෙනි, ඔහු ධර්මය ඇසුව ද කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට බැසගැනීම අභව්‍ය වේ.” 

එකඟ සිතකින් තොරව ධර්මය අසන විට ඒ පෙන්වන දහම් නියාමයට යොමු වීමට නොහැකි බව ඉහත දේශනාව තුළින් මනාව පිළිබිඹු වේ. එපමණක් ද නොව, අසන කරුණට පමණක් අවධානය යොමු නොකර, තම තමන් කලින් අසා වටහා ගත් කරුණු අනුව කල්පනාවට යොමු වන විට ඇති වන විසිරීම නිසා ද එම පෙන්වන දහම් න්‍යායට යොමු වීමට නොහැකි බවත් මනාව ඉස්මතු වේ. ලෝකයෙන් එතෙර වන දහම තමාගේ කෝණයට අගෝචර වන නිසා බොහෝ අය තමන්ගේ නොහැකියාවක් ලෙස සිතමින් දුක් වෙමින් සිටිති. එය ද දහමට යොමු වීමට නොහැකි හීනමානය නම් වූ කෙලේසයක් බව පෙන්වා ඇත. එම නිසා තථාගත දහම ඉගෙන ගැනීමට ප්‍රථම එම ධර්මයේ ඉස්මතු වන්නේ කුමක් ද යන වග වටහා ගැනීම වැදගත් වේ. කල්‍යාණ මිත්‍රයාට යමෙක් නැඹුරු නොවූයේ නම් කිසිසේත් ම තථාගත දහමට යොමු නොවන බව ඉහතින් පෙන්වූ දේශනා තුළින් ද මනාව ඉස්මතු විය. එමෙන් ම මෙම දේශනාව තුළ කල්‍යාණ මිතුරාටත්, කල්‍යාණ මිතුරා කියන දෙය පිළිබඳවත් ගැටීමක් ඇති වන්නේ නම් සම්මත්ත නියාමය නම් වූ දහම් න්‍යායට බැස ගැනීමට නොහැකි බව මනාව පෙන්වා දී තිබේ.     

“සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං: අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. ” 

(කල්‍යාණමිත්‍ර සූත්‍රය – සනි 5-1, සූරියපෙය්‍යාලය

“මහණෙනි, යම් අරුණක් උදාවේ ද, උදාවන හිරුට එය පූර්ව අංගයක් වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවක් වේ ද, ඒ භික්ෂුවට ආර්‍යෂ්ටාංගික මාර්ගය ඉපදීමට ම එය පූර්ව අංගයක් වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, ආර්‍යෂ්ටාංගික මාර්ගය වඩන්නේ, බහුල කරන්නේ යන කරුණ, කලණ මිතුරන් ඇති භික්ෂූව විසින් කැමති විය යුතු යි.” 

ගැඹුරු වූ, දකින්න දුෂ්කර, අතක්කාවචර, ශාන්ත පණීත, තථාගත දහම පවසන කල්‍යාණ මිත්‍රයා පිළිබඳව කිසිඳු ලෙසකින් ගැටීමක් ඇති වන්නේ නම් ඔහුට මාර්ගය නූපදින බව මෙම දෙසුම තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. යමෙකුට මාර්ගය නූපදින්නේ ම කල්‍යාණ මිත්‍රයාට ගෞරවයක් නොමැතිවීම ම බව මේ දෙසුම තුළින් මනාව ඉස්මතු වී ඇත. කල්‍යාණ මිත්‍රයාට යොමු වීමේ වැදගත්කම කොපමණ ද යන වග තමතමන් හොඳින් ම වටහා ගතයුතු වේ. එලෙස කල්‍යාණ මිත්‍රයාට යොමුවී දහම අසනවිට යෝනිසෝමනසිකාරය උපදින ආකාරය ඉදිරියේ දී පැහැදිලි වේ.  

නීවරණ ප්‍රහාණයකින් තොරව තථාගත දහම ඇසීමෙන් එම ප්‍රතිපදාවට අනුගත වීමක් නොවන නිසාම බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙළ කතාවක් තුළින් මෘදු කර්මණ්‍ය කොට ධර්ම දේශනා කළ සේක. පුළුල් ප්‍රඥාවක් ඇති විමුක්තිය ම සොයන ඒ සඳහා ම යොමු වූ අයට තථාගතයන් වහන්සේට පමණක් අදාළ (අන්‍ය වූ විමුක්තිකාමීන් ට අදාළ නොවන) සාමුක්කංසික දේශනාව වදාළ සේක. අන්‍ය වූ ප්‍රඥාවන්ත අයට විමුක්තිය සෙවීමේ අවශ්‍යතාවයත්, විනීවරණ බවත්, ඍජු වූ ගුණවත් බවත් ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ යුතු වේ. නමුත් ලෝකය තුළ ප්‍රඥාව නැති අයට කිසිසේත් ම නීවරණ දුරු වූ නමුදු ගුණවත් වූ නමුදු තථාගත දහමට යොමු විය නොහැක.  

 “දුප්පඤ්ඤසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සමණං වා බ්‍රාහ්මණං වා උපසඞ්කමිත්‍වා න පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති. කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති” 

(චූළකම්මවිභඞ්ග සූත්‍රය මනි-3  ) 

“මාණවකය, මෙසේ දුෂ්ප්‍රාඥ වෙයි. එනම්, යමෙක් භික්ෂුවක් කරා හෝ බ්‍රාහ්මණයෙක් කරා හෝ යොමුවී මෙසේ ප්‍රශ්න නොකරයි. ‘ස්වාමීනී, කුසලය කුමක්ද?, අකුසලය කුමක්ද? නිවැරදි දේ කුමක්ද? වැරැද්ද කුමක්ද? සේවනය කළ යුත්ත කුමක්ද?, සේවනය නොකළ යුත්ත කුමක්ද?, මා විසින් කුමක් කරන කල්හි බොහෝ කාලයක් දුක් පිණිස අහිත පිණිස වේද? මා විසින් කුමක් කරන කල්හි බොහෝ කාලයක් සැප පිණිස හිත පිණිස වේද?’  ” 

විචක්ෂණශිලී ගතිය, සිතන ගතිය ඇතිවීම ම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමකින් තොරව වුවද ලෝකය තුළ සිටින අයගේ ප්‍රඥා බව වේ. තම තමන් වටහාගෙන ඉන්නා වූ කරුණු වලට නොව, ප්‍රශ්න කරමින් හික්මීමේ ගතිය (පටිපුච්ඡා විනීතා) ප්‍රඥාවට හේතු වේ.  

 “තෙ තං ධම්මං පරියාපුණිත්‍වා අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති, පටිවිචරන්ති, ඉදං කථං? ඉමස්ස ක්‍වත්‍ථොති, තෙ අවිවටඤ්චෙව විවරන්ති? අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ පටිපුච්ඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතා.” 

(අනි 1- 2. 1. 5. 6

“ ඒ ධර්මය ඉගෙනගෙන ඇසීම වශයෙන් පුරුදු කර, ප්‍රශ්න කරමින් විමසයි. විවරණය කරයි. මෙය කෙසේ ද? මෙහි අර්ථය කුමක්ද? යන ලෙසටයි. ඔවුනට විවර නොවූ අර්ථ විවර වේ. නොයෙක් වූ සැක සංකා ස්වාභාවයන් දුරු වේ. මහණෙනි මෙය ප්‍රශ්න කරමින් හික්මෙන පිරිස යැයිද , යම් කරුණක බැසගැනීමෙන් හික්මෙන්නේ නැති පිරිස යැයිද කියනු ලැබේ.” 

“සුස්සූසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරො.” 

(ඉට්ඨධම්ම සූත්‍රය – අ.නි. 6

“ඇසීම, ප්‍රශ්න කිරීම ප්‍රඥාවට ආහාර වේ” 

විමුක්තිකාමී චින්තනය නැති නීවරණ සහිත සෘජු ගති නොවන ප්‍රඥාවන්ත අයට තථාගතයන් වහන්සේට පමණක් ආවේණික සාමුකංසික දේශනාව කිරීමට පෙර අනුපිළිවෙළ කතාව ඉදිරිපත් කරයි. එම අනුපිළිවෙළ කථාව අන්‍ය වූ විමුක්තිකාමී අයට ද ගෝචරවන විග්‍රහයකි.  

ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 12 

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමට මත්තෙන් අනුපිළිවෙළ කථාව සිදු කළසේක. ඉන් පසුව ලෝකෝත්තර ධර්මය වදාළහ. 

“එකමන්තං නිසින්නස්ස ඛො යසස්ස කුලපුත්තස්ස භගවා ආනුපුබ්බීකථං කථෙසි. සෙය්‍යථිදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි යසං කුලපුත්තං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි – දුක්ඛං සමුදයං නිරොධං මග්ගං.”  (මහාඛන්‍ධකය-වි.පි.)

“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකත් පසෙකව සිටි යස කුල පුත්‍රයාට අනුපිළිවෙළ කථා කළසේක.  එනම්, දානකථාව, සීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගේ ආදීනව, කෙලෙස්වල ලාමකභාවය, නික්මීමේ ආනිශංස,  ප්‍රකාශ කළසේක. යම් කලෙක යසකුල පුත්‍රයාට අවබෝධවීමට සුදුසු ලෙස සිතක් ඇතිවූයේ ද, මෘදු සිතක් ඇතිවූයේ ද, නීවරණ දුරු වූ සිතක් ඇතිවූයේ ද, ඔදවැඩුණු සිතක් ඇතිවූයේ ද, ප්‍රසන්න සිතක් ඇතිවූයේ ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනාව වන සාමුක්කංසික දේශනය වදාළ සේක: දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග.”

“කාමා හි භො අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො භො අයං අත්තා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති.” (බ්‍රහ්මජාල සූත්‍රය-දි.නි. 1)

“භවත්නි, කාමයන් වනාහි අනිත්‍ය ය, දුක් ය, වෙනස්වෙන සුලු ය. ඒවාහි වෙනස්වීමෙන්, අන්‍යභාවයට පත්වීමෙන් සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපදී. යම්විටෙක භවත්නි, මේ ආත්මය (තමාගේ යොමුවීම) කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමුන්ගෙන් වෙන ව, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත්,  සැපයත් ඇති ප්‍රථමධ්‍යානයට සමවැදී වාසය කරයි. භවත්නි, මේ පමණෙකින් ම මේ ආත්මය (තමාගේ යොමුවීම) උතුම් දිටු දැහැමෙහිම නිවීම පත් වෙයි”

“භූතපුබ්බං භික්ඛවෙ, සුනෙත්තො නාම සත්‍ථා අහොසි තිත්‍ථ කරො කාමෙසු වීතරාගො” (සුනෙත්ත සූත්‍රය – අ.නි. 4)

“මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්ත නම් තීර්ථක (වෙනත් වූ විමුක්ති මාර්ගයන් ට යොමු වූ) කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය.”

විමුක්තිය සෙවීම සඳහා යොමු වීමට හේතුවන මේ විස්තරය (අනුපිළිවෙළ කථාව) අන්‍ය වූ විමුක්තිකාමින්ට ද ගෝචර වූවක් බව තථාගත දේශනා තුළ මනාව ඉස්මතු වේ. අන්‍ය විමුක්තිකාමීන්, සීලය ආරක්ෂා කිරීම ගැනත්, පැවිදිවීම ගැනත්, කෙලෙස් තවන වීර්‍යයෙන් අප්‍රමාදීව කටයුතු කිරීම ගැනත්, කාමයන්ගේ ආදීනව දැකීම ගැන ත්, කාමන්ගෙන් ඉක්මී ධ්‍යානයන්ට පත්වීම ගැන ත් තථාගත දේශනාවේ විනය පිටකය මෙන්ම සූත්‍ර දේශනා තුළ ද පැහැදිලි කර ඇත. ඒ බව පෙර කළ පැහැදිලි කිරීම් තුළින් ද ඉහත බ්‍රහ්මජාල සූත්‍රය තුළින්ද මනාව ඉස්මතු වේ. 

ඉහත සඳහන් මේ අනු පිළිවෙළ කථාව ඉදිරිපත් කරන විට අකුසලයන් දුරු වීම ද, නීවරණ ඉක්මවීම ද සිදුවන අතර මෘදු හා සෘජු ගති පැවතුම් ද ඇති වේ. දානය පිළිබඳව පැහැදිලි කරන විට අතහැරීමේ ගුණය ත් පුණ්‍යධර්ම වල වටිනාකම ත් තුළින් සිත ප්‍රමුදිත වන අතර ම හික්මීමේ ඇති අවශ්‍යතාවය ද සීල කථාව තුළින් මනාව ඉස්මතු කරමින් දේශනා කළහ. මෙසේ හික්මීමේ අවශ්‍යතාවය ද සුගතිය තුළ ඇති වටිනාකම ද හොඳින් ප්‍රකට වන විට නීවරණයන් ක්‍රමයෙන් දුරු වී කල්‍යාණ මිතුරා කරා ම මුළු සිතින් ම යොමු වේ. මෙසේ යොමුවත් ම කාමයන්ගේ ආදීනව ප්‍රකට කරමින් කථා කරන විට කාමයන්ට නොගොස් එම සිත් නීවරණයෙන් ක්‍රමයෙන් මිදේ. එමෙන් ම සිතුවිලි හෝ යමකට සිතුවිලිවලින් බැඳී සිටීමේ ආදීනවය ත් ඒවායින් ඉක්මවීමේ අවශ්‍යතාවය ත්, නෙක්ඛම්මයේ ඇති අනුසස් කථා කරන විට සිදු වේ. මේ ආකාරයට නීවරණයන් දුරු වී විමුක්තිය සෙවීමේ අවශ්‍යතාවය ඒ ප්‍රඥාවන්තයින් තුළ ප්‍රකට වීමෙන් තව තවත් කල්‍යාණ මිත්‍රයාට නැඹුරු වීමට ත්, එම සිත මෘදු, කර්මණ්‍ය කිරීම සඳහා අධ්‍යාත්මය තුළ පවතින සියුම් වූ කෙලෙස්වල අපිරිසිදුභාවය ප්‍රකට කරමින් දේශනා කළහ. මුළුමනින් ම තම ජීවිතය කල්‍යාණ මිත්‍රයාට යොමු කරමින් සිත ඍජු කිරීම ද කිසිදු ලෙසකින් තමන්ගේ සිතුවිලිවලට අනුගතව ක්‍රියා නොකරමින් අවංකකම ඉස්මතු වෙමින් හා කල්‍යාණ මිතුරාට නැවීම ට, යොමුවීම සඳහා නිහතමානීකම හොඳින් ඉස්මතු කළහ. මේ ආකාරයට වූ අනුපිළිවෙළ කථාව ඉදිරිපත් කළ විට එම ප්‍රඥාවන්තයාගේ සිත මෘදු හා කර්මණ්‍ය වේ. එමෙන්ම නීවරණ ද දුරු වේ. නීවරණ දුරු වීම නිසා තථාගත දහම නම් වූ සාමුකංසික දේශනාව ම පමණක් මනාව සාවධානව ශ්‍රවනය කළ හැකිවේ. නිහතමානී කම, අවංක කම, සෘජු ගතිය, සහ සත්‍ය ගවේෂී යන ගුණවත්කම් තුළින් තමන්ගේ මතයට යොමු නොවූ එම ප්‍රඥාවන්තයාගේ සිත මෘදු කර්මණ්‍ය බවට පත් වේ. එවිට ශ්‍රවනය කරන තථාගත දහම අර්ථ ව්‍යංජන ද සහිතව ම ග්‍රහණය කරගත හැකි වේ.    

“සෙය්‍යථාපි නාම සුද්ධං වත්‍ථං අපගතකාලකං සම්මදෙව රජනං පටිගණ්හෙය්‍ය, එවමෙව යසස්ස කුලපුත්තස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.” (මහාඛන්‍ධකය-වි.පි.)

“යම් සේ, කිලිටි දුරු වූ පිරිසුදු වස්ත්‍රයක් මනා ව සායම් ගන්නේ වේද, එපරිද්දෙන් ම යසකුල පුත්‍රයාහට ඒ ආසනයේ දී ම ‘යමක් හටගන්නා යුක්ත ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත යැ’ යි යන කෙලෙස් නැති මළකඩ නැති දහම් ඇස පහළ වූයේය”

පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවන විට සියලුම සායම් එම වස්ත්‍රයට ම උරාගන්නා අතර වස්ත්‍රය තුළින් එම සායම්වල වර්ණය හැර වෙන කිසිදු වර්ණයක් දිස් නොවේ. එලෙසට ම මෘදු, කර්මණ්‍ය හා විනීවරණ බවින් යුතු ප්‍රඥාව නිසා තථාගත දහම පමණක් මුළු ජීවිතය ම බවට පත් වේ. මේ ආකාරයට වූ කෙනෙකුට අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත තථාගත දහම දේශනා කළවිට ඒ අය උතුම් දහමට බැස ගැනීම සිදුවේ.

“න කථං පරිභොති. න කථිකං පරිභොති. න අත්තානං පරිභොති. අවික්ඛිත්තචිත්තො ධම්මං සුණාති එකග්ගචිත්තො. යොනිසො ච මනසිකරොති. පඤ්ඤවා හොති අජළො අනෙළමූගො න අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති. අමක්ඛී ධම්මං සුණාති න මක්ඛපරියුට්ඨිතො. අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්‍ධගවෙසී. ධම්මදෙසකෙ අනාහතචිත්තො හොති අඛිලජාතො.” (සම්මත්තනියාම සූත්‍රයන් – අ.නි. 2)

“කථාවට (දේශනාවට) පරිභව නොකරයි, කථිකයාට (දේශකයාට) පරිභව නො කරයි, තමාට පරිභව නො කරයි (හීනමානය ඇතිකර නොගනී), නොවිසිරුණු එකඟ සිතින් ධර්මය අසයි,  යෝනිසෝ මනසිකාර කරයි, නුවණින් මෙනෙහි කරණුයේ ද වේ, ප්‍රඥාවන්ත වෙයි, ජඩ නොවූ කෙළතොලු නොවූයේ වෙයි, නොදත් දැයෙහි ‘දත්මි’ යන මානය (තමාට වැටගෙන දෙයක් බව වූ සදිස මානය) නැති වේ, ගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි, උපාරම්භචිත්ත රහිත වූයේ (වැරදි සොයන අදහසින් තොරව) දහම් අසයි. ධර්‍මදේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නො ගැටුනු සිත් ඇත්තේ වෙයි, දැඩි ගති නැතියේ වෙයි.”

මේ ආකාර වූ ගුණයන් ගෙන් යුක්ත වන විට, තථාගතයන් වහන්සේට ආවේනික ලෝකෝත්තර ධර්මය ඇසීමට යොමුවේ.

එම තථාගතයන් වහන්සේ වදාරන ලෝකෝත්තර ධර්මය කුමක් ද යන වග ඉදිරියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 13

ඉතාම කලාතුරකින් පහළවන අසාමාන්‍ය උත්තමයෙක් වන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය ඉතාම වැදගත් වේ. ඒ බව එකල සිටි අන්‍ය තීර්ථකයන් ද පවා දැන සිටියහ. මජ්ඣිම නිකාය දෙවන පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍රවලින් එය තහවුරු වේ. එබැවින් තථාගතයන් වහන්සේට පමණක් ආවේණික වූ එම ධර්මය ඉගෙනීම සඳහා සුවිශේෂී අවධානයක් යොමුකරගත යුතු වේ. 

“යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙ කල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණා පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති” (නගරූපම සූත්‍රය, අ.නි. 4)

“යම් ඒ ධර්මයක් මුල සුන්දර ද වේ, මැද සුන්දර ද වේ, අවසානය සුන්දර ද වේ, අර්ථ සහිත ද වේ, ව්‍යංජන සහිතද වේ, කේවලත්වය පිරීම ම වේ, පිරිසිදු බ්‍රහ්මචරියාව (ආර්‍යෂ්ටාංගික මාර්ගය) පිණිස ම ද වන ලෙස හොඳින් දේශනා කර ඇත.” 

ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව පෙන්වූ ඒ තථාගත දහම මෙසේ නුවණැත්තෙක් අසන්නට යොමු වූ විට ඔහු අවබෝධ කිරීම අරුමයක් නොවන්නකි. එමෙන්ම ඔහු කල්‍යාණ මිත්‍රයා කෙරෙහි වූ අසීමිත යොමුවීම මෙන් ම තථාගතයන් වහන්සේ ට ද යොමු වූ ශ්‍රද්ධාව ඇති වේ. එසේ වන්නේ ඒ උතුම් ධර්මයේ ඇති ස්වාක්ඛාත බව නිසාවෙනි.

“අභිඤ්ඤායාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අප්පාටිහාරියං.

තස්ස මය්හං භික්ඛවෙ, අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො කරණීයා අනුසාසනී.

අලඤ්ච පන වො භික්ඛවෙ, තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සොමනස්සාය “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො”ති.

ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුං. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ සහස්සී ලොකධාතු අකම්පිත්‍ථාති.”  (පි. 498 – අ.නි. 1)

“මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට ධර්මය දේශනා කරමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට ධර්මය දේශනා කරමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රාතිහාර්ය සහිතව කොට දහම් දෙසමි. ප්‍රාතිහාර්‍ය රහිතව නො දෙසමි.

මහණෙනි, අවබෝධ කොට ගෙන දහම් දේශනා කරන, අවබෝධ නොකොට නො දෙසන, හේතු සහිත කොට ගෙන දහම් දෙසන, හේතු රහිත කොට නො දෙසන, ප්‍රාතිහාර්‍ය සහිතව ධර්මය දෙසන, ප්‍රාතිහාර්‍ය  රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය..

මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍මා සම්බුද්ධ වන සේක, ධර්‍මය ස්වාක්ඛාත වන සේක, සංඝයා සුපටිපන්න වන සේක” යැයි සතුටුවීම නිසිය. සතුටු සිත් ඇති කරගැනීම නිසිය. සොම්නස් ඇතිකරගැනීම නිසිය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් අනුමෝදන් වූහ. මේ ධර්ම පර්යාය වදාරන විට සහශ්‍රී ලෝක ධාතුවම කම්පා විය.”

“ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්‍දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී” (මහානාම සූත්‍රය – අ.නි.6)

“භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය, ස්වාක්ඛාත ය, සන්දිට්ඨිකය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, නුවණැත්තන් විසින් තම තමන් දත යුතුය”

විමුක්තිකාමී සමාජය තුළ සිටින අන්‍ය වූ විමුක්තිකාමී ශාස්තෘන් වහන්සේලා ට විෂය නොවන බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ම ආවේණික දහමක් පවතී. එනම් ලෝකයෙන් එතෙර වන සක්කාය නිරෝධ දහමයි. එම දහම අන්‍ය අයට දේශනා කිරීමෙන් වෙහෙසට පත්වන බව තථාගතයන් වහන්සේට වැටහී මන්දෝත්සාහය වූ බව මුලින් පැහැදිලි කළේය. ලෝකයා භාවිත කළ ලෝකයේ වචනම උපකාර කරගෙන ලෝකයෙන් එතෙර වන දහමක් කෙසේ නම් ඉදිරිපත් කරන්න ද?

එසේ වූ මහා හැකියාවට ම ‘බුද්ධ’ යන නිර්වචනය ඉස්මතු වේ. අනුපිළිවෙළ කතාවෙන් පසු සිත මෘදු, කර්මණ්‍ය, විනීවරණ වීමෙන් හෝ විමුක්තිකාමී බවින් යුතු ප්‍රඥාවන්තයාට බුදු කෙනෙකුට පමණක් ආවේණික එතෙර වන දහම වදාළ සේක. එම දහමට සාමුක්කංසික දේශනාව යැයි හඳුන්වනු ලැබේ. චතුරාර්ය සත්‍ය එකතු වූ එම දේශනාව බුදුවරුන්ට පමණක් ම ආවේණික වේ. චතුරාර්ය සත්‍ය තුළින් සත්‍ය සෙවීමේ ගතිය ඉස්මතු කිරීම තුළින් යෝනිසෝමනසිකාරය ඉපැද්දවීම සිදු කර ඇත. යෝනිසෝමනසිකාරය පිළිබඳව පසුව විස්තර වේ. එලෙසට යෝනිසෝ මනසිකාරය තුළින් එම දහම අනුවම සිතීම නම් වූ පිරිසිඳ සෙවීම තුළින් එහි යථාර්ථය, එතෙර වන ලෙසට ප්‍රත්‍යක්ෂ වේ. පිරිසිද සෙවීමේ කෘත්‍ය ඉස්මතු වීමෙන් දුක නම් වූ ආර්ය සත්‍යය ද එහි යථාර්ථය ලෙස සමුදය ආර්ය සත්‍ය වශයෙන් ද වචනයට රිංගා නොගෙන ප්‍රඥාවන්තයාට මාර්ගය භාවිත වන ලෙස පැහැදිලි කර ඇත.

“යෙ තෙ ආනන්‍ද, ධම්මා තෙසං තෙසං අධිවුත්තිපදානං අභිඤ්ඤා සච්ඡිකිරියාය සංවත්තන්ති. විසාරදො අහං ආනන්‍ද තත්‍ර පටිජානාමි තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං, යථා යථා පටිපන්නො සන්තං වා අත්‍ථීති ඤස්සති, අසන්තං වා නත්‍ථීති ඤස්සති, හීනං වා හීනන්ති ඤස්සති, පණීතං වා පණීතන්ති ඤස්සති. ස උත්තරං වා ස උත්තරන්ති ඤස්සති, අනුත්තරං වා අනුත්තරන්ති ඤස්සති, යථා යථා වා පන තං ඤාතෙය්‍යං වා දට්ඨෙය්‍යං වා සච්ඡිකාතය්‍යං වා තථා තථා ඤස්සති වා දක්ඛති වා සච්ඡිකරිස්සතීති වා ඨානමෙතං විජ්ජති. එතදනුත්තරියං ආනන්‍ද ඤාණානං යදිදං තත්‍ථ තත්‍ථ යථාභූතඤාණං, එතස්මා වාහං ආනන්‍ද ඤාණා අඤ්ඤං ඤාණං උත්තරිතරං වා පණීතතරං වා නත්‍ථීති වදාමි.” (අධිවුත්තිපද සූත්‍රය-අ.නි. 6)

“ආනන්‍දයෙනි, යම් ඒ ඒ අධිවචනපදයන් විශේෂ අවබෝධයෙන් සාක්ෂාත් කිරීම සඳහා පවතී. ආනන්‍දයෙනි, මම  එහිලා ඒ ඒ අධිවචන පද තුළින් ඒ ඒ ධර්මයන් දේශනා කිරීමට විශාරද බව ප්‍රතිඥා දෙමි. යම් යම් පරිදි පිළිපන් විට ඒ ධර්මය ඇතැයි දන්නේ වේ. යම් ධර්මයක් නැත්තේ ද ඒ ධර්මය නැතැයි දන්නේ වේ. හීන ධර්මයන් හීන ධර්මයන් යයි දන්නේ වේ. ප්‍රණීත වූ ධර්මය ප්‍රණීත ධර්ම යයි දන්නේ වේ. උතුම් ධර්මයන් උතුම් ධර්මයන් යැයි දන්නේ වේ. ශ්‍රේෂ්ඨ ධර්මයන් ශ්‍රේෂ්ඨ ධර්මයන් යැයි දන්නේ වේ. යම් යම් අයුරකින් නුවණකින් දැනගත යුතු වේද, (නුවණින්) දැකගත යුතු වේද, (නුවණින්) සාක්ෂාත් කළ යුතු වේද, ඒ ඒ අයුරින් නුවණින් දන්නේ ද වේ. (නුවණින්) දකින්නේද වේ. (නුවණින්) සාක්ෂාත් කරන්නේ ද වේ. යන මේ කරුණු ඒකාන්තයෙන් සිදුවන්නකි. ආනන්‍දයෙනි, ඥානයන් අතරෙන් ඒ ඒ තැන්හි යථාර්ථ වශයෙන් දකින ඥානය ශ්‍රේෂ්ඨ වේ. ආනන්‍දයෙනි, එම යථාභූත ඥානයට වඩා අන්‍ය වූ උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ ඥානයක් නැතැයි කියමි.”

ප්‍රඥාව නැති තමාගේ මතය තුළින් යමක් හොයන අය, වචනය ට රිංගාගෙන ලෝකයේ ඇති දෙයක සිදුවීමක් පිළිබඳ පමණක් වටහා ගනී. ලෝකෙන් එතෙර වීමක් කිසිදාක සිදු නොවේ. ලෝකයේ පවතින්නක් යනු ජීවිතේම සිදුවන අත්දැකීමකි. එය ජීවිත උදාහරණයකි. එතන ප්‍රතිපදාවක් නොවේ. මෙසේ ජීවිත උදාහරණයක් වූ ලෝකේ පැවැත්මක් පමණක් ලැබී එතුළින්  සතුටු වී දහමට යොමු නොවීමෙන් දුෂ්ප්‍රාඥයා සතුටු වේ. මේ ආකාරයට සිදු වන්නේ ම තථාගත දහමට ශ්‍රද්ධාවෙන් යොමු නොවී ඒ පෙන්වූ දේ පමණක් ම දරා නොගන්නා නිසාවෙනි.      

තථාගත දහමේ තිබෙන එළෙසට ම ඉගෙන ගන්නා ආකාරය ඉදිරි ලිපියේදී විමසා බලමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 14

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ලෝකයෙන් එතෙර වන ප්‍රතිපදාවකි. එය ලෝකයේ පවතින විග්‍රහයක් නොවේ. ලෝකයේ පැවතීම මුල්කරගෙන එතෙර වීමේ මාර්ගය ඉපැද්දවීම සඳහා ධර්මය දේශනා කොට ඇත. එබැවින් එම ධර්මය ඉගෙනගන්නා විට ලෝකයේ සිදුවීම්වලට නොගැලපිය යුතුය. එසේ නොගලපා ධර්මය ඉගෙන ගැනීමට නම් පෙන්වූ ධර්මය ඒ ලෙසට ම පද පිළිවෙළ සමග ඉගෙනගත යුතුය.   

“කතමඤ්චාවුසො දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්‍ධා දුක්ඛා.” (සච්චවිභඞ්ග සූත්‍රය-ම.නි. 3

ඇවැත්නි, දුක්ඛ ආර්‍ය සත්‍ය කුමක්ද? ජාතිය දුකය, ජරාව දුකය, මරණය දුකය, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුකය, කැමති දේ නොලැබීම දුකය, සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝ ම දුකය. 

මේ දුක පැහැදිලි කරන විට එය ජීවිත උදාහරණයක් නොවී, සත්‍ය සෙවීමේ කෘත්‍යය ඉස්මතු වීමක්, එනම් පිරිසිඳ සෙවීමක් ඉස්මතු කොට ඇත. එනමුත් නිවැරදිව ම ශ්‍රද්ධාවෙන් එය පිළිනොගන්නා නිසා ලෝකයට අයිති තමාගේ කරුණු ද ඇතුළත් කර ගනියි. ඉපදීම, ලෙඩ වීම, වයසටයාම දුකක් ලෙස ඉදිරිපත් කර ඇති අතර තමන්ගේ ඉපදීම හෝ සත්වයාගේ ඉපදීම ලෙස ඉදිරිපත් කර නැත. තමන්ගේ ඉපදීම හෝ සත්වයාගේ ඉපදීම ලෙස ගත් විට එය ලෝකයට අයත් ජීවිත පැවැත්මේ උදාහරණයක් පමණක් වේ. එමෙන්ම මෙම විග්‍රහයේදී දුකක් ලෙස පෙන්වා ඇතිමුත්, දුක් ‘විඳීමක්’ ලෙස ද පැහැදිලි කර නැත. 

“තිස්සො ඉමා භික්ඛු වෙදනා වුත්තා මයා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා, ඉමා තිස්සො වෙදනා වුත්තා මයා. වුත්තං ඛො පනෙතං භික්ඛු මයා යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව අනිච්චතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව ඛයධම්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව වයධම්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විරාගධම්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව නිරොධධම්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විපරිනාමධම්මතං සන්‍ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.” (රහෝගත සූත්‍රය – ස.නි.-4

“මහණ, මේ වේදනා තුනක් මා විසින් දේශනා කරන ලදී. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම වේදනාවන් ය. මේ වේදනා තුන මා විසින් දේශනා කරන ලදී. මහණ, යම්  කිසි විදීමක් වේද, එය දුකක් යැයි මා විසින් දේශනා කරන ලදි. මහණ, සංස්කාරයන්ගේ අනිත්‍ය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී. මහණ, සංස්කාරයන්ගේ ක්ෂයවන ස්වාභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී.  මහණ, සංස්කාරයන්ගේ වැනසෙන ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී. මහණ, සංස්කාරයන්ගේ විරාග ස්වාභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී. මහණ, සංස්කාරයන්ගේ නිරෝධ ස්වාභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී. මහණ, සංස්කාරයන්ගේ වෙනස්වන ස්වාභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යැයි මා විසින් වදාරණ ලදී.” 

දුක් විඳීම යනු ලෝක සත්ත්වයාගේ සිදුවන පැවැත්මක් වේ. නමුත් දුක යනු සකස්වීම වේ. ආර්ය සත්‍යය විග්‍රහයේ දී ලෙඩවීම දුක් විඳීමක් ලෙස තථාගතයන් වහන්සේ පෙන්වා දී නැත. එය දුකක් ලෙස පමණක් ඉදිරිපත් කර ඇත. එනම් සකස්වීමක් ලෙසයි. කෙනෙකුට තම තමන් ලබන අත්දැකීමක් (බුක්තිවිදින) ලෙස ට  පෙන්වීමක් ඉදිරිපත් කර නැත (ආර්ය සත්‍යය විග්‍රහයේදී). මෙහි විස්තරයක් තවදුරටත් සොයාගෙන යන විට තව තවත් විචක්ෂණය පමණක් ම ඉස්මතු වේ. 

 “කතමාචාවුසො ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච්චතාවුසො ජරා.” (සච්චවිභඞ්ග සූත්‍රය-ම.නි. 3

“ඇවැත්නි, ජරාව යනු කුමක්ද?  ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමක්, දිරන අයුරක්, කැඩීමක්,  පැසීමක්, හම රැලි වැටීමක්, ආයුෂ පිරිහීමක්, ඉන්ද්‍රියන් පැසීමක් වේ ද, ඇවැත්නි, මෙය ‘ජරාව’ යයි කියනු ලැබේ.” 

කැඩුණු දත් ගැන හෝ ඉදුණු කෙස් ගැන හෝ රැලි වැටුන සම ගැන හෝ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී නැත. කැඩීම, ඉදීම, හම රැලි වැටීම ලෙසින් ක්‍රියාකාරීත්වයන් (සංස්කාර ස්වාභාවය) පමණක් වදාළහ. එම ක්‍රියාව කුමක්ද යන වග සෙවීම තුළින් යෝනිසෝමනසිකාරය පමණක් ඉස්මතු වේ.   

බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු පමණක් ම ඉගෙන නො ගෙන තම තමාගේ රාමුවට ගැලපෙන ලෝකය තුළ පවතින කරුණු සමග වටහා ගැනීම තුළින් කෙසේ නම් ලෝකෝත්තර දහම කරා යොමු වන්න ද? ඒ ලෙසින් ඉගෙන ගන්නා විට තථාගත දහම ඇසුවද එම දහම නො අසන බව සුස්සුසති සූත්‍රයේ ඉදිරිපත් වී ඇති ආකාරය මුලින් පෙන්වා දුන්නේය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඇති පද පිළිවෙළ සහ පරියාය නිවැරදිව ඉගෙන ගැනීමේ වැදගත්කම මෙයින් හොඳින් ම  පැහැදිලි වේ. එලෙසම සිදුවීම පිණිස අර්ථ සෙවීමට මත්තෙන් ධර්මය ඇසිය යුතු ආකාරය ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  

 “පුන චපරං භික්ඛවෙ භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නීචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා, සබ්‍යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.” (ප්‍රථම නාථකරණ සූත්‍රය – අ.නි. 6

“තවද මහණෙනි, මහණ බහුශ්‍රැත වූයේ වේ. ඇසූ දේ දරන්නේ වේ, ඇසූ දේ රැස්කරන්නේ වේ. ඒ මේ ධර්මය මුල සුන්දර වේ. මැද සුන්දර වේ. අවසානය සුන්දර වේ. අර්ථ සහිත ද වේ, ව්‍යංජන සහිතද වේ, කේවලත්වය පිරීම ම වේ, පිරිසිදු බ්‍රහ්මචරියාව (ආර්‍යෂ්ටාංගික මාර්ගය) පිණිස ම ද වන ලෙස හොඳින් දේශනා කර ඇත. ඔහු ඒ ස්වාභාව වූ ධර්මයන් බොහෝ අසා, දරාගත්තේ වේ, වචනයෙන් ප්‍රගුණ (සජ්ඣායනා) කරන්නේ වේ, මනසින් එයම විමසයි, ඒ ආකාරයට ම මනාව දැකීම පිරිසිදු වේ.”   

ශ්‍රද්ධාව යම් පමණකට හෝ ඇති වූ විට ධර්මය ඉගෙන ගැනීමේ මුලිකම කරුණ වන මේ සියල්ල ම ඒ ආකාරයෙන්ම සිදු කිරීමට යොමුවේ. මූලිකව ම කළ යුතු කරුණු සිදු නොකරන්නේ නම් තථාගත වචනයට අවනත නොවීමෙන් ශ්‍රද්ධාව ද ගිලිහී යනු ඇත. තථාගතයන් වහන්සේ ධර්ම පරියායක් දේශනා කිරීමට ප්‍රථම විධානයක් ඉදිරිපත් කරනු ලැබේ. 

“සුණාථ, සාධුකං මනසිකරොථ භාසිස්සාමීති” 

“අසව්!, හොඳින් මනසිකාර කරව්!, දේශනා කරන්නෙමි”  

මේ තථාගත වචනය ට කීකරු වීම තුළින් ම ඉහත පෙන්වූ ආකාරයට මුලින් ම ධර්මය ඉගෙන ගනු ලැබේ. ඉන් පසු එහි අර්ථය සෙවීමට යොමු වේ. ඒ පිළිබඳ ඉදිරියේදී පැහැදිලි කර ගනිමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 15

ලෝකයේ කලාතුරකින් පහළ වන බුදුරජාණන් වහන්සේ නමක් විසින් තථාගතයන් වහන්සේලාට ම ආවේණික වන ලෝකයෙන් එතෙරවන ධර්මය දේශනා කළ සේක. එම දේශනා කරන ධර්මයට පමණක් යොමුවීමෙන් ආධ්‍යාත්මික අංගය වන යෝනිසෝමනසිකාරය ඉස්මතු වේ. එසේ සිදුවන විට දුක පිරිසිඳ සෙවීමේ කෘත්‍ය ප්‍රායෝගිකව සිදුවේ. 

දුක පිරිසිඳ සොයන ආකාරයට පෙන්වමින් සිදුකරන බුද්ධ දේශනය තුළින් එලෙස යෝනිසෝ මනසිකාරය ඉස්මතු වේ. එසේ යෝනිසෝ මනසිකාරය සිදුවන විට යථාර්ථය නම් වූ හේතු ඵල ස්වභාවය ලෙසට ඉස්මතු වේ. දුක පිරිසිඳ සොයන ආකාරයට යෝනිසෝ මනසිකාරය  සිදුවීම, ලෝකයේ පවතින්නක් ලෙසට නොව  යෝනිසෝ මනසිකාරය තුළින් ගොඩනැගෙන ප්‍රඥාවෙන්, එතෙර වීමක් ලෙසට ම ප්‍රායෝගිකව සිදුවේ. මෙසේ සිදුවීම පිණිස ම තථාගතයන් වහන්සේ ධර්මය පෙන්වා දී ඇත. ලෝකයේ පවතින දෙයක් හෝ පවතින දෙයක නැතිවීමක් හෝ ලෙසින් නොව හේතු-ඵල ධර්මතාවයක් පෙන්වා දී ඇත. මේ යෝනිසෝ මනසිකාරය තුළින් උපදින ප්‍රඥාවෙන් සමුදය දැකීම ත්, එම හටගන්නා හේතුව ඉක්මවීම නම් වූ නිරෝධය දැකීම ත්, ඒ යෝනිසෝ මනසිකාරය තුළින් ඉස්මතු වන ප්‍රඥාවෙන් සිදුවේ.  මේ ආකාරයට වූ ආධ්‍යාත්මික ප්‍රතිපදාව වන මාර්ගය ද යෝනිසෝ මනසිකාරයක් තුළින් ම දියුණු වීමක් සිදුවේ   

“සො ඉදං දුක‍්ඛන‍්ති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛසමුදයොති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛනිරොධොති යොනිසො මනසි කරොති, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති ” (සබ්බාසව සූත්‍රය – ම.නි.1)

“ඔහු මේ දුක යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ සමුදය යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධය යැයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය යැයි යෝනිසෝ මනසිකාර කරයි. මෙසේ යෝනිසෝ මනසිකාර කරන ඔහුගේ සංයෝජන තුන ප්‍රහීණ වේ”

බුදුරජාණන් වහන්සේ පෙන් වූ ආර්ය සත්‍ය විග්‍රහය තුළින් යෝනිසෝමනසිකාරය ම ඉදිරිපත් වේ. යෝනිසෝ මනසිකාරය යනු තමන් මැදිහත් වී කරන සිතීමක් නොවන බව ඉදිරියේ දී පැහැදිලි වේ. මේ ආකාරයට චතුරාර්ය සත්‍ය දේශනාව සාමුක්කංසික දේශනය ලෙසට බුදුවරුන්ට ආවේණික දහමක් ලෙසින් ඉදිරිපත් වේ. ලෝකයෙන් එතෙර වන දහම අන්‍ය විමුක්තිකාමී ශාසන තුළ කිසිසේත් ම ඉදිරිපත් නොවේ.  

ශ්‍රාවකයා යනු ශාස්තෘන් වහන්සේ ඉදිරිපත් කළ අර්ථය ම ඉස්මතු කරන කෙනෙක් විනා, තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන කෙනෙක් නොවෙයි. 

“යං කිඤ‍්චි සුභාසිතං සබ‍්බං තං තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස, තතො උපාදායුපාදාය මයඤ‍්චඤ‍්ඤෙ ච භණාමාති.”

“යම් කිසි සුභාෂිතයෙක් වේ නම් ඒ හැම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ය. එයින් ම  ගෙන අපි ද අනුන්ට කියම්හ”

තථාගත ශ්‍රාවකයා දේශනා කරන්නේ ම තම ශාස්තෘන්  වහන්සේගේ අදහස ම ය (අර්ථය). තමන්ගේ කිසිදු අදහසක් (අර්ථයක්) එනම් ලෝකය තහවුරු වන හෝ සක්කාය තරවන විග්‍රහයක් පෙන්වා නොදෙයි. ශ්‍රාවක යන වචනයෙන් ම ඉස්මතු වන්නේ ශාස්තෘන්ගේ අදහස් ම (අර්ථයම) ඉදිරිපත් කිරීම යන්නයි. මේ සාමුක්කංසික දේශනය බුදුරජාණන් වහන්සේලාට පමණක් ම අදාළ වන අතර ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ද එසේ ම ඉදිරිපත් කරයි. සාමුක්කංසික දේශනයෙන් තොර වූවක් බුදුරජාණන් වහන්සේට ම ආවේණික භාෂිතයක් ලෙසට ඉදිරිපත් වීමක් ශ්‍රාවකයා අතින් කිසිසේත්ම සිදු නොවේ. යමෙක් තම තමන්ට වැටහෙන කරුණක් සක්කාය තහවුරු වන ලෙසින් ධර්මය ආකාරයට පෙන්වා දෙන්නේ නම් ශ්‍රාවකත්වය හා ශ්‍රද්ධාව ඔහු තුළින් ගිලිහී ගොස්, බොහෝ අයට වැරදි ප්‍රතිපදාවන් ද පෙන්වා දෙයි.  

“පඤ‍්චහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො ථෙරො භික‍්ඛු බහුජනාහිතාය පටිපන‍්නො හොති, බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. කතමෙහි පඤ‍්චහි:

ථෙරො හොති රත‍්තඤ‍්ඤු චිරපබ‍්බජිතො. ඤාතො හොති යසස‍්සී ගහට‍්ඨපබ‍්බජිතානං බහුජනපරිවාරො. ලාභී හොති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. මිච‍්ඡාදිට‍්ඨිකො හොති විපරීතදස‍්සනො. සො බහුජනං සද‍්ධම‍්මා වුට‍්ඨාපෙත්‍වා අසද‍්ධම‍්මෙ පතිට‍්ඨාපෙති. ”

“මහණෙනි, ධර්‍ම පසකින් සමන්‍වාගත ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට අහිත පිණිස බොහෝ ජනයාට දුක් පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසෙකින් ද යත්:

පැවිදිව බොහෝ කල් ඇති, ස්ථවිර භික්ෂුවක් සිටී. ගිහි-පැවිදි අය අතරෙහි කීර්ති රාවය ඇතිව බොහෝ ජනයා පිරිවරාගෙන සිටී. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර ලබන සුළු ද වෙයි. බොහෝ දේ අසන ලද්දේ ද, ඇසූ දේ දරාගන්නා ලද්දේ ද, ඇසූ දේ රැස්කරන ලද්දේ ද වේ. යම් ඒ මුල සුන්දර, මැද සුන්දර, අවසානය සුන්දර, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, කේවලත්වයම පරිපූර්ණ වන, පිරිසිදු බඹසරම පෙන්වන ධර්මය වේ.  ඒ ධර්මය ඔහු විසින් බොහෝ අසන ලද්දේ වේ. දරණ ලද්දේ වේ. වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දේ වේ. සිතින් විමසන ලද්දේ වේ. දෘෂ්ඨි වශයෙන් ප්‍රතිවේද කරන ලද්දේ වේ. ඔහු මිච්ඡා දිට්ඨිකද, විපරීත දර්ශන ද ඇතිවේ. ඔහු බොහෝ ජනයා සද්ධර්මයෙන් ඉවත්කොට අසද්ධර්මයේ පිහිටුවයි.”

නිවැරදිවම බුදුරජාණන් වහන්සේට ආවේණික සාමුක්කංසික දේශනාව නොලැබීම තුළින්  කොපමණ ආදීනවයන් සිදුවනවාද යන්න මේ සූත්‍රය තුළින් මනාව ඉස්මතු වේ. සැබෑම තථාගත වචනයම වන සාමුක්කංසික දේශනාව පමණක්ම ඇසීම තුළින් යෝනිසෝ මනසිකාරය සිදුවේ. එතෙර වීම පිණිස පවතින මාර්ගයට යොමු වීම සඳහා අවශ්‍ය මුලිකම කරුණ වන්නේ ද එම ධර්මය අසන්නට ලැබීම ම වෙයි.

“ද‍්වෙ ඛො ආවුසො පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො.”

“ඇවැත්නි, සම්මා දිට්ඨිය උත්පාදය පිණිස ප්‍රත්‍ය දෙකකි. බාහිරින් ඇහෙන දෙයත්, යෝනිසෝ මනසිකාරයත් වේ.”

ධර්ම ප්‍රතිරූපයක් ලෙස පරතෝ ඝෝසය (බාහිරින් ඇසෙන දෙය) ලෙස ලැබුණේ නම් ඔහුට කිසිදු ලෙසකින් ධර්මය අවබෝධ කරා යොමු විය නොහැක. මුළා වීම පමණක්ම සිදුවේ. 

එසේ ධර්මය ලෙස ධර්ම ප්‍රතිරූපකයක් ඇසීම තුළින් නිවන් මඟ සම්පූර්ණයෙන්ම විනාශවන බව ථේර සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. මෙසේ ධර්ම ප්‍රතිරූපකයන් ඇසීමේ ආදීනවය පිළිබඳව වටහා ගත යුතු වේ. එවිට ධර්ම ප්‍රතිරූපකයන් බැහැර කළ හැක. එලෙසට ධර්ම ප්‍රතිරූපකයන් හඳුනාගෙන බැහැර කිරීම සඳහා ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 16-1

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී ලෝකයෙන් එතෙර වන ප්‍රතිපදාව ඉස්මතුවන ලෙසට ගම්භීර දහමක් පෙන්වා වදාළ සේක. එම ගම්භීර දහමට අනුගතවීම සඳහා ප්‍රඥාවන්තයන් ලෝකයේ සිටිය යුතු වේ. කාලයත් සමගම ප්‍රඥාව හීන අය ලෝකයේ බහුලවන විට එම ගැඹුරු දහම වටහා ගැනීම සඳහා තම තමන්ගේ අදහස් එකතුකර ගනිමින් ලෝකයට වැටහෙන විග්‍රයක් ඉදිරිපත් කරති. ලෝකයේ පැවැත්මට එම ඉදිරිපත් වූව අසත්‍යයක් නොවන බැවින් අධර්මයක් ලෙසට බැහැරකිරීමක් සිදු නොවේ. එනමුත් එය ලෝකයෙන් ඉතෙරවන දහමක් නොවේ. ලෝකයෙන් එතෙරවන දහමක් විලසින් බුද්ධ වචනයක් ලෙසට ලෝකයාට ගැලපෙන ලෝකයේ පවතින ආකාරයකින් සද්ධර්ම ප්‍රතිරූපකයක් ඉදිරිපත් වේ. එය ලෝකෝත්තර දහමක් හැටියට බාහිරින් කෙනෙකුට ඇසුණ ද ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාවක් කිසිසේත් ම ඉස්මතු නොවේ.  

“සත‍්තෙසු හායමානෙසු, සද‍්ධම‍්මෙ අන‍්තරධායමානෙ, බහුතරානි චෙව සික‍්ඛාපදානි හොන‍්ති. අප‍්පතරා ච භික‍්ඛූ අඤ‍්ඤාය සණ‍්ඨහන‍්ති.

න තාව කස‍්සප, සද‍්ධම‍්මස‍්ස අන‍්තරධානං හොති, යාව න සද‍්ධම‍්මපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති. යතො ච ඛො කස‍්සප සද‍්ධම‍්මපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති, අථ සද‍්ධම‍්මස‍්ස අන‍්තරධානං හොති. සෙය්‍යථාපි කස‍්සප, න තාව ජාතරූපස‍්ස අන‍්තරධානං හොති යාව න ජාතරූපපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති. යතො ච ඛො කස‍්සප ජාතරූපපතිරූපකං ලොකෙ උප‍්පජ‍්ජති, අථ ජාතරූපස‍්ස අන‍්තරධානං හොති. .” (සද්ධම්මපතිරූපක සූත්‍රය, ස.නි. 2)

“සත්ත්‍වයන් පිරිහෙන කල්හි, සද්ධර්මය අතුරුදන් වන කල්හි, ශික්‍ෂා පදයන් ඉතා බොහෝ පවතී. එවිට ඉතා අල්ප වූ භික්ෂූන් අරහත්වයට පත්වේ.

කස්සප, ලෝකයේ යම් තාක් සද්ධර්ම ප්‍රතිරූපකයක් නූපදී ද. ඒ තාක් සද්ධර්මය අතුරුදහන් නොවේ. කස්සප, ලොව යම් කලෙක සද්ධර්ම ප්‍රතිරූපක උපදී ද, එකල්හි සද්ධර්මය අතුරුදහන් වේ. කස්සප, යම් සේ ලෝකයේ යම් තාක් රත්‍රන් වැනි දෙයක් හට නොගනී ද, ඒ තාක් රත්‍රන් අතුරුදන් වීමක් නොවේ. කස්සප, ලෝකයේ යම් කලෙක රත්‍රන් වැනි දෙයක් හටගනී ද, එකල්හි රත්‍රන් අතුරුදන් වීමක් වේ.”

සත්‍වයාගේ පිරිහීම නිසා ප්‍රඥාවෙන් යුතු හික්මීමේ ස්වභාවයක් නොයෙදෙන බැවින්, හික්මීම සඳහා සික්ෂාපද පැනවිය යුතු වේ. එනමුදු ප්‍රඥාවේ වර්ධනයක් සිදුනොවන බැවින් ලෝකයට ගැලපෙන් ආකාරයට, හිත අලංකාර වන ආකාරයට නොයෙකුත් අදහස් ඉදිරිපත් වෙමින් සද්ධර්ම ප්‍රතිරූපක මතුවී ලෝකෝත්තර ධර්මය වන ඒ උතුම් බුදු වදන අතුරුදහන් වේ. 

“භූතපුබ‍්බං භික‍්ඛවෙ, දසාරහානං ආණකො නාම මුදිඞ‍්ගො අහොසි. තස‍්ස දසාරහා ආණකෙ ඵළිතෙ අඤ‍්ඤං ආණිං ඔදහිංසු. අහු ඛො සො භික‍්ඛවෙ සමයො යං ආණකස‍්ස මුදිඞ‍්ගස‍්ස පොරාණං පොක‍්ඛර ඵලකං අන‍්තරධායි, ආණිසඞ‍්ඝාටොව අවසිස‍්සි.

එවමෙව ඛො භික‍්ඛවෙ, භවිස‍්සන‍්ති භික‍්ඛූ අනාගතමද‍්ධානං, යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතපටිසංයුත‍්තා, තෙසු භඤ‍්ඤමානෙසු න සුස‍්සූසිස‍්සන‍්ති, න සොතං ඔදහිස‍්සන‍්ති, න අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨාපෙස‍්සන‍්ති. න ච තෙ ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. යෙ පන තෙ සුත‍්තන‍්තා කවිකතා කාවෙය්‍යා චිත‍්තක‍්ඛරා චිත‍්තබ්‍යඤ‍්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ‍්ඤමානෙසු සුස‍්සූසිස‍්සන‍්ති, සොතං ඔදහිස‍්සන‍්ති, අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨාපෙස‍්සන‍්ති තෙ ච ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. එවමෙතෙසං භික‍්ඛවෙ, සුත‍්තන‍්තානං තථාගතභාසිතානං ගම‍්භීරානං ගම‍්භීරත්‍ථානං ලොකුත‍්තරානං සුඤ‍්ඤතපටිසංයුත‍්තානං අන‍්තරධානං භවිස‍්සති.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතපටිසංයුත‍්තා, තෙසු භඤ‍්ඤමානෙසු සුස‍්සූසිස‍්සාම, සොතං ඔදහිස‍්සාම, අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨාපෙස‍්සාම. තෙ ච ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤිස‍්සාමාති. ‍” (ආණි සූත්‍රය, ස.නි. 2

“මහණෙනි, පෙර වූවක් කියමි: දසාරහ නම් වූ ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයක් විය. දසාරහයෝ ඒ බෙරය පැළුණු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙර කඳ අතුරුදන් විය. ඇණ වලින් ම සෑදුන බෙර කඳක් ඉතිරිවන කාලයක් වූයේ ය.

මහණෙනි, එහෙයින් ම ඉදිරි කාලයෙහි මෙබඳු භික්‍ෂූහු වන්නාහ. ඔවුන් ඒ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකයෙන් එතෙරවන, ශුන්‍යතාවයෙන් යුක්ත යම් ඒ සූත්‍රයන්, දේශනා කරනු ලබන කල්හි ඇසීමට කැමති නො වන්නාහ. ඇසීමට කන් යොමු නො කරන්නාහ. අවබෝධ කිරීම පිණිස සිත නො එළවන්නාහ. ඒ ධර්මයන් ඉගෙන ගත යුතු යැ යි, ඉගෙන ගැනීම් වශයෙන් පුරුදුකළ යුතු යැයි නොහඟින්නාහ. ඔවුන් ඒ සිත අලංකාර කරන, කවීන් විසින්  කරවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් බාහිර වූ (බුදුරජාණන් වහන්සේට ආවේණික වූ ලෝකෝත්තර ධර්මයෙන් බාහිර) ශ්‍රාවකයන් විසින් දේශනා කරන ලද යම් ඒ සූත්‍රයක් ඇත්ද, ඒවා කියනු ලබන කල්හි ඔවුන් අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය (වටහාගැනීම) පිණිස සිත එළවන්නාහ. ඒ ධර්මයන් උගත යුතු යැ යි ද, ඉගෙනීම වශයෙන් පුරුදු කළ යුතු යැ යි හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකයෙන් එතෙරවන, ශුන්‍යතාවයෙන් යුක්ත යම් ඒ සූත්‍රයන් ගේ අතුරුදහන් වීම වන්නේ ය.

මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකයෙන් එතෙරවන, ශුන්‍යතාවයෙන් යුක්ත යම් ඒ සූත්‍රයෝ වෙද්ද, දේශනා කරනු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම ඉගෙන ගත යුතු යයි, ඉගෙන ගැනීම් වශයෙන් ප්‍රගුණ කළ යුතු ය යි හඟින්නෙමු යි”

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ශුන්‍යතාව යනු “තමා සහ තමාට අයිතීත්‍වයෙන් ශුන්‍ය යන්නයි.” 

“සුඤ‍්ඤො ලොකො සුඤ‍්ඤො ලොකොති භන‍්තෙ වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සුඤ‍්ඤො ලොකොති වුච‍්චතීති? යස‍්මා ච ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකොති වුච‍්චති.” (සුඤ්ඤතලෝක සූත්‍රය, ස.නි. 4)

“භාග්‍යවතුන් වහන්ස, ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙයි. කෙතෙකින් ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබේ ද?.  යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දෙයින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.”


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 16-2

විවිධකාර ලෙසින් ලෝකයේ පවතින සත්‍ය කරුණක් වශයෙන් සද්ධර්ම ප්‍රතිරූපකයන් ඉදිරිපත් වන විට එය ප්‍රතික්ෂේප කරමින් සැබෑම ලෝකෝත්තර බුදු වදන ඉගෙන ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් මහාපදේශයන් ඉදිරිපත් කරන ලදී.

“කතමෙ ච භික‍්ඛවෙ චත‍්තාරො මහාපදෙසා?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය :

“සම‍්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම‍්මුඛා පටිග‍්ගහීතං අයං ධම‍්මො අයං විනයො ඉදං සත්‍ථුසාසන”න‍්ති. තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො භාසිතං නෙව අභිනන්‍දිතබ‍්බං. න පටික‍්කොසිතබ‍්බං. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා තානි පදබ්‍යඤ‍්ජනානි සාධුකං උග‍්ගහෙත්‍වා සුත‍්තෙ ඔතාරෙතබ‍්බානි. විනයෙ සන්‍දස‍්සෙතබ‍්බානි. තානි චෙ සුත‍්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස‍්සියමානානි න චෙව සුත‍්තෙ ඔතරන‍්ති න විනයෙ සන්‍දිස‍්සන‍්ති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං : අද‍්ධා ඉදං න චෙව තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ඉමස‍්ස ච භික‍්ඛුනො දුග‍්ගහීතන‍්ති. ඉති ඉදං භික‍්ඛවෙ ඡඩ‍්ඪෙය්‍යාථ.

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය : “සම‍්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම‍්මුඛා පටිග‍්ගහීතං අයං ධම‍්මො අයං විනයො ඉදං සත්‍ථුසාසන”න‍්ති.

තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො භාසිතං නෙව අභිනන්‍දිතබ‍්බං න පටික‍්කොසිතබ‍්බං. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා තානි පදබ්‍යඤ‍්ජනානි සාධුකං උග‍්ගහෙත්‍වා සුත‍්තෙ ඔතාරෙතබ‍්බානි. විනයෙ සන්‍දස‍්සෙතබ‍්බානි තානි චෙ සුත‍්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස‍්සියමානානි සුත‍්තෙ චෙව ඔතරන‍්ති විනයෙ ච සන්‍දිස‍්සන‍්ති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං : අද‍්ධා ඉදං තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ඉමස‍්ස ච භික‍්ඛුනො සුග‍්ගහීතන‍්ති. ඉමං භික‍්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය : “අමුකස‍්මිං නාම ආවාසෙ සඞ‍්ඝො විහරති සථෙරො සපාමොක‍්ඛො. තස‍්ස මෙ සඞ‍්ඝස‍්ස සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහීතං අයං ධම‍්මො අයං විනයො ඉදං සත්‍ථුසාසන”න‍්ති. -පෙ-

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය : “අමුකස‍්මිං නාම ආවාසෙ සම‍්බහුලා ථෙරා භික‍්ඛූ විහරන‍්ති බහුස‍්සුතා ආගතාගමා ධම‍්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහිතං අයං ධම‍්මො අයං විනයො ඉදං සත්‍ථුසාසන”න‍්ති. -පෙ-

ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු එවං වදෙය්‍ය : “අමුකස‍්මිං නාම ආවාසෙ එකො ථෙරො භික‍්ඛු විහරති බහුස‍්සුතො ආගතාගමො ධම‍්මධරො විනයධරො මාතිකාධරො. තස‍්ස මෙ ථෙරස‍්ස සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහිතං අයං ධම‍්මො අයං විනයො ඉදං සත්‍ථුසාසන”න‍්ති. -පෙ-” (මහාපදෙසදෙසනා සූත්‍රය, අ. නි. 2)

“මහණෙනි, සතර මහාපදේසයෝ කවරේද?

මහණෙනි, මේ ශාසනයේ භික්ෂුවක් මෙසේ කියන්නේය. “ඇවැත්නි, මා විසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මෙයයි ධර්‍ම ය, මෙයයි විනය, මෙයයි  ශාස්තෘ ශාසනය”.

මහණෙනි, ඒ භික්ෂුවගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය.  ප්‍රතික්ෂේප නොකළ යුතුය. අභිනන්‍දනය ද නොකොට ප්‍රතික්ෂේප ද නොකොට, ඒ පද ව්‍යඤ්ජනයෝ හොඳින් ඉගෙණගෙන සූත්‍රයෙහි බහාලිය යුතු වෙයි.  විනයෙහි ලා සැසඳිය යුතු වෙයි. එකල්හි ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලන විට, විනයෙහි ලා සසඳන විට , සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නොසැසඳෙත් ද, එහිදී  මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ භික්ෂුව  විසින් වරදවා ගන්නා ලද්ද කැ’යි. මහණෙනි, මෙසේ මේ භාෂිතය දුරු කරව්.

මහණෙනි, මේ ශාසනයේ භික්ෂුවක් මෙසේ කියන්නේය. “ඇවැත්නි, මා විසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මෙයයි ධර්‍ම ය, මෙයයි විනය, මෙයයි  ශාස්තෘ ශාසනය”.

මහණෙනි, ඒ භික්ෂුවගේ භාෂිතය අභිනන්‍දනය නො කටයුතු ය.  ප්‍රතික්ෂේප නොකළ යුතුය. අභිනන්‍දනය ද නොකොට ප්‍රතික්ෂේප ද නොකොට, ඒ පද ව්‍යඤ්ජනයෝ හොඳින් ඉගෙනගෙන සූත්‍රයෙහි බහාලිය යුතු වෙයි.  විනයෙහි ලා සැසඳිය යුතු වෙයි. එකල්හි ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලන විට, විනයෙහි ලා සසඳන විට , සූත්‍රයෙහි බැස ගණිත් ද, විනයෙහි ලා සැසඳෙත් ද, එහිදී  මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය භාග්‍යවතුන් වහන්සේගේ වචන වෙයි. මේ භික්ෂුව  විසින් නිවැරදිව ගන්නා ලද්ද කැ’යි. මහණෙනි, මෙසේ මේ භාෂිතය පිළිගනිව්.

මහණෙනි, මේ ශාසනයේ භික්ෂුවක් මෙසේ කියන්නේය. “අසවල් ආවාසයෙහි ස්ථවිර භික්ෂූන් සහිත සඞ්ඝයා වාසය කරති. ඇවැත්නි, මා විසින් ඒ සඞ්ඝයා හමුයෙහි මෙසේ අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මෙයයි ධර්‍ම ය, මෙයයි විනය, මෙයයි  ශාස්තෘ ශාසනය”. -පෙ-

මහණෙනි, මේ ශාසනයේ භික්ෂුවක් මෙසේ කියන්නේය. “අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ, විනයධර වූ, ධර්මධර වූ බොහෝ ස්ථවිර භික්ෂූන් වාසය කරති. ඇවැත්නි, මා විසින් ඒ ස්ථවිර භික්ෂූන් හමුයෙහි මෙසේ අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මෙයයි ධර්‍ම ය, මෙයයි විනය, මෙයයි  ශාස්තෘ ශාසනය”. -පෙ–

මහණෙනි, මේ ශාසනයේ භික්ෂුවක් මෙසේ කියන්නේය. “අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ, විනයධර වූ, ධර්මධර වූ ස්ථවිර භික්ෂූවක් වාසය කරයි. ඇවැත්නි, මා විසින් ඒ ස්ථවිර භික්ෂුව හමුයෙහි මෙසේ අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මෙයයි ධර්‍ම ය, මෙයයි විනය, මෙයයි  ශාස්තෘ ශාසනය”. -පෙ-

මේ ආකාරයට සූත්‍රයට බහා බැලීමටත් විනයේ සසඳා බැලීමටත් දැන ගත යුතු විශේෂ කරුණක් සත්ථුසාසන සූත්‍රයේ පැහැදිලි වේ.

“යෙ ඛො ත්‍වං උපාලි ධම‍්මෙ ජානෙය්‍යාසි “ඉමෙ ධම‍්මා න එකන‍්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී”ති, එකංසෙනුපාලි ධාරෙය්‍යාසි: නෙසො ධම‍්මො, නෙසෙ විනයො, නෙතං සත්‍ථුසාසනන‍්ති. යෙ ච ඛො ත්‍වං උපාලි, ධම‍්මෙ ජානෙය්‍යාසි: “ඉමෙ ධම‍්මා එකන‍්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තී”ති, එකංසෙනුපාලි, ධාරෙය්‍යාසි: එසො ධම‍්මො, එසො විනයො, එතං සත්‍ථුසාසනන‍්ති.”

“උපාලි, මේ ධර්‍මයෝ ඒකාන්ත නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස නො පවතින්නේ යැ යි නුඹ යම් ධර්මයන් දකින්නේ නම්, උපාලි එය ධර්මය නොවේ, විනය නොවේ. ශාස්තෘ ශාසනය නොවේ යයි ඒකාන්තයෙන් ම දැනගන්න. උපාලි, මේ ධර්‍මයෝ ඒකාන්ත නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස පවතින්නේ යැ යි නුඹ යම් ධර්මයන් දකින්නේ නම්, උපාලි එය ධර්මය වේ, විනය වේ. ශාස්තෘ ශාසනය වේ යයි ඒකාන්තයෙන් ම දැනගන්න.”

මේ ආකාරයට සැබෑ බුද්ධ වචනය ඉගෙන ගෙන එහි අර්ථ සෙවිය යුතු ආකාරය පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 17

විමුක්තිකාමි සමාජයක මෙන් තම තමන් සාක්ෂාත් කළ තම තමන්ට නිවැරදියැයි වැටහෙන, තමාගේ අවබෝධය පරිදි හෝ සමාජය තුළින් ඇසුණු කරුණු පාදක කරගෙන හෝ පරම්පරාවෙන් ලැබුණු දෙයක් පාදක කරගෙන හෝ තථාගතයන් වහන්සේ විසින් දේශිත ප්‍රතිපදාවක් යැයි සිතමින් යම් ප්‍රතිපදාවක් පුරුදු කිරීම කෙතරම් ආදීනව සහිත ද යන්න ඉහත සූත්‍ර තුළින් මනාව පැහැදිලි වේ. යම් ප්‍රතිපදාවක් පුරුදු කිරීමට මත්තෙන් ඒ ප්‍රතිපදාව කවුරුන් විසින් පෙන්වූවක් ද යන වග හොඳින් විමසා බැලිය යුතු වේ. සිල් රැකීම සමාධි වැඩිම පමණක් නොව ධර්මය ලෙස හෝ යමක් ඉස්මතු වී ඇත්නම් එය සැබෑවටම බුදුරජාණන් වහන්සේට පමණක් ම ආවේණික, සක්කාය නිරුද්ධ වන ලෙසින් ඒකාන්ත නිබ්බිදාව, විරාගය, නිරෝධය, සංසිඳීම, නිවීම, අවබෝධය පිණිස ම ද යන බව මනාව විමසිය යුතු ආකාරය මෙතෙක් පැහැදිලි කළ කරුණු ඔස්සේ වටහා ගත හැකිවේ. ඒ සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද  ‘එවං මෙ සුතං’ වශයෙන් ඇති සැබෑම බුදු වදන කිසිවකුගේ අර්ථ විවරණයකින් තොරව හා තවත් කෙනෙක් පෙන්වන ප්‍රතිපදාවකින් තොරව, මධ්‍යස්ථව, නිවැරදිව ඉගෙන ගත යුතු වේ. එසේ ඉගෙන ගැනීම ‘ශ්‍රැතය’ ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. මුල, මැද, අග පිරිසිදු බවින් යුතු දහම, පරියාය, ව්‍යංජන වශයෙන්ම ඉගෙන ගැනීමේ වැදගත්කම මුලින් පෙන්වූ කරුණු තුළින් මනාව ඉස්මතු විය. නිවැරැදිවම ශ්‍රැතය ඇති වීමේ වැදගත්කම හා වැරදි ලෙස ඇති වී මේ ආදීනවය ද ථේර සූත්‍රය මගින් මනාව පැහැදිලි විය. ඒ පිළිබඳව පහත උපමාව අනුව ද වටහා ගනිමු.

උපමාව: 

“උසස් පෙළ ගණිත විෂය හදාරන සිසුවකුට හා උසස් පෙළ අනෙකුත් විෂයන් හදාරන සිසුවෙකුට සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයක ඇති ගැටලුවක්  විසඳීමට අවස්ථාවක්  සැලසුණු බව සිතන්න. ඒ  දෙදෙනාම ගැටලුව විසඳීමට ප්‍රථම එම ගැටලුව දෙස හොඳින් බැලිය යුතු වෙනවා. මෙය කුමන වර්ගයේ ගැටලුවක් ද? මේ සඳහා කුමන න්‍යායක් භාවිතා කළ යුතුද? කෙසේ මෙම ගැටලුව විසඳීමට යොමුවිය යුතුද? යන ආකාරයත් හොඳින්ම බැලීමට අවශ්‍ය වෙනවා. මෙසේ දෙදෙනාම එම ගැටලුව කෙරෙහි හොඳින්ම  පරීක්ෂා කර බලා ගැටලු විසඳීමට උත්සාහ කරති. දෙදෙනාටම ලැබී ඇත්තේ එකම ගැටලුවක් වුවද තම තමන්ගේ කෝණය පාදක වීමෙන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් එම ගැටලුව පෙනෙන විදිය නිවැරදි වේ. ගණිත විෂයය හදාරන සිසුවා එම ගැටලුව අනුකලනය ගැටලුවක් බවත්, එයට මේ මේ න්‍යායන් භාවිත කරමින් ඒ මත  පාදක වෙමින් එය විසඳීමට පටන් ගනී. ඔහුට එම ගැටලුව මනාව විසඳාගත හැකි වේ. ගණිත විෂයන් නොහදාරන (අනෙකුත් විෂයන් හදාරන) උසස් පෙළ සිසුවාටත් එම ගැටලුව හොඳින් දකිමින් තමන් දන්නා න්‍යායන් අනුව ගැටලුව විසඳීමට උත්සාහ කළ ද එය සම්පුර්ණයෙන්ම වැරදි ලෙස වූ කටයුත්තක් වේ. මේ ආකාරයටම පෘථග්ජන ප්‍රඥාව නැති (ලෝකයේ ප්‍රඥාව නැති, සත්‍ය ගවේෂී නොවන) කෙනෙක් තථාගත දහම අසන විට එම පරියාය තමන්ට නිරවුල් වන අතර තමන්ගේ කෝණය අනුව අර්ථ විස්තර කරමින් ප්‍රතිපදාවන් පුරුදු කරමින් එය අන් අයට ද පෙන්වා දෙයි. ඔහු විශාල අනර්ථයක් සිදු කරන අතර අන් අය ද නොමඟට යොමු කරයි. නමුත් ලෞකික ප්‍රඥාව ඇති කෙනෙක්, එනම් සත්‍ය ගවේෂී කෙනෙක් (ඉහත ලිපිවලින් විග්‍රහ කර ඇත) එම දහම් පරියාය ම ඉගෙනගෙන ප්‍රඥාව අනුව අර්ථය විමසා, එම ප්‍රතිපදාව පුරුදු කරමින් අන් අයට ද පෙන්වා දෙනවා ඔහු විශාල යහපතක් කරන කෙනෙක් වෙයි.”  

ථේර  සූත්‍රයේ සඳහන් වූ අර්ථය ඉහත උපමාව අනුව විමසා, වටහා ගන්නා විට වැරැදි ලෙස ධර්මය ගැනීම තුලින් කොපමණ භයානක තත්ත්වයක් ඇති වනවාද යන වග පැහැදිලි වේ. අලගද්දූපම සූත්‍රයේ පෙන්වූ විග්‍රහය අනුව බලන විට ඔහුට මහා විශාල අනතුරක් ඇති බව මනාව පැහැදිලි වේ. නිවැරදිව ශ්‍රැතය ඇති වීමේ වැදගත්කම මේ තුළින් මනාව ඉස්මතු වේ. එබැවින් යම් ප්‍රතිපදාවක් පුරුදු කිරීමට ප්‍රථම තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සක්කාය නිරෝධයම පෙන්වන පිරිසිදු බුදු වදන ඉගෙන ගැනීම අනිවාර්ය වේ. එසේ නොකර, පුරුදු කරන සිල් රැකීම්, භාවනා කිරීම්, විදර්ශනා කිරීම්, යන  සියල්ලම අන්‍ය විමුක්තිකාමීන් පුරුදු කළ ඒවා අනුවම සිදුවේ. එබැවින් අන්‍ය ශාසනයක පුරුදු කරන ප්‍රතිපදාවක් පුරුදු කරන බැවින් ඔහු අන්‍ය ශ්‍රාවකයෙක් පමණි. තථාගත ශ්‍රාවක උණුසුමවත් ඔහුට ලැබිය නොහැක. ඒ බව කීටාගිරි සූත්‍රය, මහා තණ්හාසංඛය සූත්‍රය, මහා ගෝවින්ද සූත්‍රය තුළ මනාව පැහැදිලි වේ.

“සාපි නාම භික‍්ඛවෙ, සද‍්ධා නාහොසි. තම‍්පි නාම භික‍්ඛවෙ, උපසඞ‍්කමනං නාහොසි. සාපි නාම භික‍්ඛවෙ, පයිරුපාසනා නාහොසි. තම‍්පි නාම භික‍්ඛවෙ, සොතාවධානං නාහොසි. තම‍්පි නාම භික‍්ඛවෙ, ධම‍්මසවනං නාහොසි. සාපි නාම භික‍්ඛවෙ, ධම‍්මධාරණා නාහොසි. සාපි නාම භික‍්ඛවෙ, අත්‍ථූපපරික‍්ඛා නාහොසි. සාපි නාම භික‍්ඛවෙ, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්ති නාහොසි. සොපි නාම භික‍්ඛවෙ, ඡන්‍දො නාහොසි. සොපි නාම භික‍්ඛවෙ, උස‍්සාහො නාහොසි. සාපි නාම භික‍්ඛවෙ, තුලනා නාහොසි. තම‍්පි නාම භික‍්ඛවෙ, පධානං නාහොසි. විප‍්පටිපන‍්නා’ත්‍ථ භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපන‍්නා’ත්‍ථ භික‍්ඛවෙ. කීවදූරෙවිමෙ භික‍්ඛවෙ, මොඝපුරිසා අපක‍්කන‍්තා ඉමස‍්මා ධම‍්මවිනයා.” (කීටාගිරි සූත්‍රය – ම.නි.2)

“මහණෙනි, (අස්සජි පුනබ්බසුක) ඒ ශ්‍රද්ධාව ද නුඹලාට නැත. මහණෙනි, ඒ යොමුවීමද නුඹලාට නැත. මහණෙනි සුහදශීලි ඇසුරද නැත. මහණෙනි, කන් යොමු කිරීමද නැත. මහණෙනි, ධර්‍මශ්‍රවණය ද නැත. මහණෙනි, ඒ ධර්මය දරාගැනීම ද නැත. මහණෙනි, අර්‍ත්‍ථ විමසීම ද නැත. මහණෙනි, ඒ ධර්මය නිවැරදිභාවය අනුව විමසීම ද නැත. මහණෙනි, ඡන්දය ද නැත. මහණෙනි, උත්සාහය ද නැත. මහණෙනි, ධර්මයට අනු වූ තුලනය ද නැත. මහණෙනි, පධන් වීර්‍ය ද නැත. මහණෙනි,  වැරදි ප්‍රතිපදාවක් ඇත. මහණෙනි, මිථ්‍යා ප්‍රතිපදාවක් ඇත. මහණෙනි, මේ හිස් පුරුෂයෝ මේ ධර්ම විනයෙන් කොපමණ දුර ඉක්ම ගියාහු ද?”

“තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නයං සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො උස‍්මීකතොපි ඉමස‍්මිං ධම‍්මවිනයෙති. “කිං හි සියා භන‍්තෙ, නො හෙතං භන‍්තෙ”ති” -(මහාතණ්හාසඞ්ඛය සූත්‍රය- ම.නි.1)

“මහණෙනි, කුමක් හඟිව්ද? මේ කේවට්ට පුත්ත වූ සාති භික්ෂුව මේ ධර්ම විනයෙහි උණුසුමත් ලබා තිබේද? ස්වාමීනි, කෙසේ වන්නද ? ස්වාමීනි, නැත ම ය”

තථාගත ශාසනයේ සැබෑම උණුසුම ලැබීමට ද, සැබෑම ශ්‍රද්ධාව ලැබීමට ද බුදුරජාණන් වහන්සේ විසින් පමණක් ම පෙන්වන සක්කාය නිරෝධ ධර්මය මනාව ඉගෙන ගත යුතු වේ. එසේ සිදු නොවන්නේ නම් ඔවුන් පැවිදි වුව ද තථාගත ශාසනයට අයිති නැත. නිවැරදිව ම තථාගත ශාසනයට ඇතුලු වූයේ නම් ඔවුන් එම ප්‍රතිපදාවට යොමුවන්නේ මය.

“ඉති ඛො පන සබ‍්බෙසං යෙව තෙසං කුලපුත‍්තානං අමොඝා පබ‍්බජ‍්ජා අහොසි අවඤ‍්ඣා සඵලා සඋද්‍රයා”ති.” (මහාගෝවින්‍ද සූත්‍රය-දී.නි.2)

“මෙසේ ඒ සියලු ම කුල පුත්‍රයන්ගේ පැවිද්ද හිස් නොවේය, වඳ නොවේය, ඵල සහිතය, වැඩීම් සහිතය.”

මේ සූත්‍ර දේශනා අනුව තථාගත ශාසනයට නිවැරදිව ඇතුලුවීමට නම් සක්කාය නිරෝධය පෙන්වන තථාගත දහම පිරිසිදුව ඉගෙනගෙන, ශ්‍රැතය නිරවුල් කරගත යුතු වේ. එසේ සිදුනොවී කොපමණ කාලයක් පැවිදිව සිටිය ද ඔවුන් තථාගත ශාසනයෙන් බොහෝ දුර වේ. 

නිවැරදිව තථාගත ශාසනයට ඇතුල් වීමට අවශ්‍ය ශ්‍රැතය නිරවුල් කරගන්නා ආකාරය ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 18

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වී ලෝකයාට භාෂාවක් උගන්වන්නේ නැත. ව්‍යවහාර කරන භාෂාව තුළින් ලෝකයෙන් එතෙරවීම නම් වූ සක්කාය නිරෝධ දහමක් පෙන්වා දෙයි. එලෙසට ලෝකයේ තාත්වික ව්‍යවහාරික වචන තුළින් පෙන්වන ධර්ම පර්යායන් බොහෝ ඉගෙන ගත්ත ද, සක්කාය නිරෝධ වන ලෙසට  එකඳු හෝ දහම් පදයක් නිවැරදිව බහුශ්‍රැත වශයෙන් නිරවුල් නොවුයේ නම් එම දහම අවබෝධ කරගත නොහැක. එක් දහම් පදයක්  කෙරෙහි හෝ  ශ්‍රැත  ධනය  මනාව නිරවුල් කරගන්නේ නම් ඔහුට ඒ දහමට අනුව ප්‍රතිපදාවට යොමු විය හැකි වේ.

“බහු ඛො භික‍්ඛු මයා ධම‍්මා දෙසිතා : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. චතුප‍්පදාය චෙපි භික‍්ඛු ගාථාය අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති බහුස‍්සුතො ධම‍්මධරොති අලං වචනායාති.” (බහුස්සුත සූත්‍රය- අ.නි.2)

“මහණ, මා විසින් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන බොහෝ ධර්මයන් දේශනා කරන ලදහ. මහණ, සතර පද ගාථාවක වුවද අර්ථය නුවණින් දැන, ධර්මය නුවණින් දැන, ධම්මානුධම්ම පටිපන්න වෙයි ද, ඔහුට බහුශ්‍රැත යයි, ධර්මධර යයි කියන්නට සුදුසු වේ.”

බොහෝ දහම් කරුණු ඉගෙන නොගන්නේ නමුත් පරියාය, පද පිළිවෙළ, මුල මැද අග පිරිසිදු බවින් යුතුව එක් දහම් පරියායක් හෝ ඉගෙන ගන්නේ නම් ඔහු බහුශ්‍රැතයෙක් ම වේ.

“ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති” (සොතානුධත සූත්‍රය – අ.නි. 2)

“මේ ශාසනයේ භික්ෂුව සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්මයන් ඇසීම වශයෙන් පුහුණු කරයි. ඔහු විසින් ඒ ධර්මය කණින් අසා ධාරණය කරගන්නා ලදී. වචනයෙන් පුරුදු කරණා ලදී. මනසින් එයම විමසා, දිට්ඨියා සුප්පටිවිද්ධා බවට පත්වේ. ඔහු සිහිමුලා වී කලුරිය කොට අන්‍ය දේවනිකායකට එළඹෙයි. එහිදී සැපසේ ඔහුට ධර්ම පදයන් වැටහෙයි.  මහණෙනි, සෙමින් ඔහුට සිහිය උපදී. එකල්හි ඒ සත්‍වයා ඉක්මනින්ම විශේෂත්වයකට පත්වේ.”    

බහුශ්‍රැත කෙනෙක් සිහි මුළා වී කලුරිය කළ ද, ඔහුට සැබෑම රැකවරණය සැලසෙන බව මේ බුදු වදන තුළින් මනාව පැහැදිලි වේ. එසේ නම් මේ මූලික කරුණ කිරීම සඳහා කෙසේ නම් උත්සාහවත් විය යුතු ද?

බහුශ්‍රැතභාවය යනු ධර්මය නොවේ. ධර්මය යනු ස්වාක්ඛාත ආදී ගුණයෙන් යුතු එතෙර වන ප්‍රතිපදාවයි. බුදුරජාණන් වහන්සේ විශේෂ වන්නේ ධාතු, ආයතන, පටිච්චසමුප්පාදය, ස්කන්ධ ආදී දේවල් දේශනා කිරීමට නොවේ, එම කරුණු පාදක කරගෙන එතෙරවන මාර්ගය ඉස්මතු කිරීම නිසාවෙනි. එම ඉස්මතු කළ මාර්ගය තථාගතයන් වහන්සේගේ ධර්මය වේ. එම ධර්මය පිළිබඳව ඉදිරියේ දී පෙන්වා දෙන්නෙමු…

“තථාගතො භික‍්ඛවෙ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා. අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා. අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා. මග‍්ගඤ‍්ඤූ, මග‍්ගවිදූ, මග‍්ගකොවිදො, මග‍්ගානුගා ච භික‍්ඛවෙ, එතරහි සාවකා විහරන‍්ති, පච‍්ඡා සමන‍්නාගතා.”

“මහණෙනි, තථාගත වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාහ, ප්‍රකට නොවූ මාර්ගය ප්‍රකට කරන්නාහ, ප්‍රකාශ නොකළ මාර්ගය ප්‍රකාශ කරන්නාහ. මාර්ගය දන්නාහ. මාර්ගය අවබෝධකළහ. මාර්ගයේ දක්ෂය. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ එම මාර්ගය අනුව යෙදෙමින් වාසය කරති. ” (සම්බුද්ධ සූත්‍රය – ස.නි. 3))

මග්ගඤ්ඤූ වූ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච්සමුප්පාදය පාදක කරගෙන එතෙර වන ප්‍රතිපදාවක් වූ ධර්මය පෙන්වා දුන්සේක. එසේ පෙන් වූ කරුණු ගැලපීම අනුව, පරියාය, නිදානය, පද ව්‍යංජන අනුව සුතය වශයෙන් වටහාගැනීම බහුශ්‍රැතභාවය වේ. එම බහුශ්‍රැතභාවය නැතිව ධර්මයට යොමු විය නොහැක.

මෙම බහුශ්‍රැතභාවය තිබුන ද ධම්මානුධම්ම ප්‍රතිපදාවට අනුගත නොවූයේ නම් සක්කාය නිරෝධ මාර්ගයට යොමුවිය නොහැක. සුතය අල්ප වශයෙන් ඇතිව වුව ද සුතයෙන් උපන් අර්ථය, ධර්මය වැටහීමෙන් සක්කාය නිරෝධ මාර්ගයට යොමුවේ. 

“කථඤ‍්ච භික‍්ඛවෙ, පුග‍්ගලො අප‍්පස‍්සුතො හොති සුතෙන උපපන‍්නො? ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස අප‍්පකං සුතං හොති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො තස‍්ස අප‍්පකස‍්ස සුතස‍්ස අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති. එවං ඛො භික‍්ඛවෙ, පුග‍්ගලො අප‍්පස‍්සුතො හොති, සුතෙන උපපන‍්නො.

කථඤ‍්ච භික‍්ඛවෙ, පුග‍්ගලො බහුස‍්සුතො හොති සුතෙන අනුපපන‍්නො? ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස පුග‍්ගලස‍්ස බහුං සුතං හොති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. සො තස‍්ස බහුකස‍්ස සුතස‍්ස න අත්‍ථමඤ‍්ඤාය න ධම‍්මමඤ‍්ඤාය න ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති. එවං ඛො භික‍්ඛවෙ, පුග‍්ගලො බහුස‍්සුතො හොති සුතෙන අනුපපන‍්නො.” 

“මහණෙනි, කෙසේ නම් පුද්ගලයෙක් ශ්‍රැතයෙන් උපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සුත්ත, ගෙය්‍ය වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල, යන මෙය, හෙතෙම අල්ප වූ ශ්‍රැතයෙන් යුක්තව, අර්ථ ප්‍රඥාවෙන් දැනගෙන, ධර්මය ප්‍රඥාවෙන් දැනගෙන, ධම්මානුධම්ම පටිපන්න වෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා ශ්‍රැතයෙන් උපන් අල්පශ්‍රැතයෙක් වෙයි.

මහණෙනි, කෙසේ නම් පුද්ගලයෙක් ශ්‍රැතයෙන් නූපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් බොහෝ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල, යන මෙය, හෙතෙම බොහෝ සෙයින් ශ්‍රැතයෙන් යුක්තව, අර්ථ ප්‍රඥාවෙන් නොදැනගනී, ධර්මය ප්‍රඥාවෙන් නොදැනගනී, ධම්මානුධම්ම පටිපන්න නොවෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා ශ්‍රැතයෙන් නූපන් බහුශ්‍රැතයෙක් වෙයි.” (අප්පස්සුත සූත්‍රය – අ.නි. 2)

බහුශ්‍රැත භාවය සහ ප්‍රඥාව යන කරුණු දෙක වෙන වෙනම වටහාගත යුතු බව මේ දේශනා තුළින් හොඳින් පැහැදිලි වේ. 

“සජ‍්ඣායකිරියා බාහුසච‍්චස‍්ස ආහාරො. සුස‍්සූසා පරිපුච‍්ඡා පඤ‍්ඤාය ආහාරො. අනුයොගො පච‍්චවෙක‍්ඛනා ධම් මානං ආහාරො.”

“සජ්ඣායනා කිරීම බහුශ්‍රැත බවට ප්‍රත්‍ය වේ. ඇසූ දෙය ප්‍රශ්න කරමින් විමසීම ප්‍රඥාවට ප්‍රත්‍ය වේ. යෙදුනෙහි අනුව ප්‍රත්‍යවේක්ෂා කිරීම ධර්මයට ප්‍රත්‍ය වේ.”  (ඉට්ඨධම්ම සූත්‍රය – අ.නි. 6)

ධර්මය, බහුශ්‍රැතභාවය හා ප්‍රඥාව වෙන් වෙන් වූ  කරුණු බවත් ඒවාට වෙන වෙනම ආහාර (ප්‍රත්‍ය) අවශ්‍ය බවත් මේ සූත්‍රය තුළින් හොඳින් ඉස්මතු වේ. ප්‍රඥාව පිළිබඳ කරුණු ඉහත දී පෙන්වූ සූත්‍ර තුළින් ද ඉස්මතු විය. ධර්මය පිළිබඳ කරුණු ඉදිරියේ දී පැහැදිලි වේ. බහුශ්‍රැත භාවය පිළිබඳව වෙන වෙන ම දැන් විමසා බලමු.

බහුශ්‍රැත භාවය පිළිබඳව කරුණු පහක් ඇති බව ඉහත පෙන්වූ සූත්‍රයන් අනුව පැහැදිලි විය. එම කරුණු පහ ඇති කරගැනීමට යොමු වීමට ප්‍රථම එම අසන ධර්මය තුළ ඉස්මතු වන විශේෂ හැකියාවෙන් යුතු කරුණු මුලින්ම විමසා බලමු. 

එය ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 19

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වී පෙන්වා වදාරණ, ඒ ලෝකයෙන් එතෙර වන උතුම් දහම කිසිදු අඩු වැඩියකින් තොරව මනාව පෙන්වා දී ඇත.  

කිඤ‍්ච පස‍්සං න පස‍්සතී?ති: එවං සබ‍්බාකාරසම‍්පන‍්නං සබ‍්බාකාරපරිපූරං අනූනං අනධිකං ස‍්වාක‍්ඛාතං කෙවලපරිපූරං බ්‍රහ‍්මචරියං සුප‍්පකාසිතන‍්ති, ඉති හෙතං පස‍්සති ඉදමෙත්‍ථ අපකඩ‍්ඪෙය්‍ය, එවං තං පරිසුද‍්ධතරං අස‍්සාති, ඉති හෙතං න පස‍්සති. ඉදමෙත්‍ථ උපකඩ‍්ඪෙය්‍ය, එවං තං පරිසුද‍්ධතරං අස‍්සාති ඉති හෙතං න පස‍්සති. ඉදං වුච‍්චති පස‍්සං න පස‍්සතීති.” (පාසාදික සූත්‍රය – දි.නි. 3

“කුමක් දකින විට නොදකී ද? මෙසේ සියලු ආකාරයෙන් යුක්ත සියලු ආකාරයෙන් පරිපූර්ණ, අඩුත් නැති, වැඩිත් නැති, මනාකොට දේශනා කළ කේවලත්වය පිරෙන බ්‍රහ්මචරිය වූ නිවන් මඟ හොඳින් ම ප්‍රකාශ කරන ලදී. මෙසේ යමෙක් දකී (තථාගත දහම) ‘මේ කොටස ඉවත්කළ යුතුයි, මෙය වඩාත් පිරිසිදු යැයි කියා නොදකී. මේ කොටස එකතු කළ යුතුය, මේ වඩාත් පිරිසිදු යැයි’ මෙසේ නොදකී. මෙය දකින විට නොදකිනු යැයි කියනු ලැබේ.” 

 බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කිසිදු ආකාරයකින් අඩු වැඩි බවක් නොපවතින බව හා මනාවම අංග සම්පූර්ණව දේශනා කළ බව පාසාදික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  

බහුස‍්සුතො ඛො පන අයමායස‍්මා සුතධරො සුතසන‍්නිචයො යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථා රූපස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති. ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා” (ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය – අ.නි. 5

“මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රැත වූයේ ය, ශ්‍රැතධර වූයේ ය, ඇසූ දේ රැස්කරන ලද්දේ වෙයි, ඒ මේ ධර්මය මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) දේශනා කර තිබේ. එබඳු ධර්මයන් බොහෝ අසන ලද්දේ වේ. ධාරණය කරගනී. වචනයෙන් ප්‍රගුණ කරන්නේය, මනසින් කල්පනා කරන්නේය, දැකීම් පිරිසිදු වන්නේය (සුතය වශයෙන්). ” 

බහුශ්‍රැත විය යුත්තේ කුමන ධර්මයක් පිළිබඳව ද යන වග මේ දේශනා තුළින් හොඳින් ඉස්මතු වේ. ධාරණය කර ගත යුතු වන්නේ, එකතු කළ යුත්තේ බුදුවරුන්ට පමණක් ම ආවේණික දහමයි. එම දහමේ ස්වභාවය වන්නේ මුල, මැද හා අවසානය සුන්දර බවයි. එමෙන්ම අර්ථ ඇති බව ත් ඉස්මතු වී ඇත. එම නිසා ඇසූ ධර්මය අනුව අර්ථ විමසීමකට යොමු වේ. එමෙන්ම ව්‍යංජන පිළිවෙළක් ඇත. ධාතු, ආයතන, ස්කන්ධ, පටිච්චසමුප්පාදය  ආදිය පාදක කරගෙන පෙන්වන දහම, එතෙර වන මාර්ගයක් ඉස්මතුවීම සඳහා පෙන්වා ඇත. එනිසා එම පද පිළිවෙළ විශේෂයෙන් ම වැදගත් වේ. මේ බව එකල අන්‍ය තීර්ථකයන් ද දැන සිටියහ. අන්‍ය තීර්ථකයන් පවා දැන සිටි කරුණු යමෙක් නොදන්නේ නම් අන්‍ය තීර්ථකයන්ටත් වඩා පහළ මට්ටමකින් බුදු වදන ගැන ඔවුන් කල්පනා කරති. 

 “තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී’ති” (සේල සූත්‍රය – ම.නි. 2

“ඒ භවත් ගෞතමයන් වහන්සේට මෙසේ සුන්දර කීර්ති රාවයක් පැතිරී ඇත. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ය, සම්මා සම්බුද්ධ ය, විජ්ජාචරන සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තර පුරුෂදම්මසාරථි ය, සත්ථා දේවමනුස්සානං ය, බුද්ධ ය, භගවා යයි. ඔහු මේ දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, ශ්‍රමණ බ්‍රාරහ්මණයන් සහිත ලෝකයේ, දෙවිමිනිසුන් ප්‍රජාවට තමාම අවබෝධ කොට, සාක්ෂාත් කොට ප්‍රකාශ කරයි. ඔහු  මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ  අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) ඉස්මතු වන ධර්මය දේශනා කරයි. එවන් රහතන් වහන්සේලාගේ දර්ශනය කොතරම් හොඳද?”        

අන්‍ය තීර්ථකයන් පවා අසාමාන්‍ය ලෙස පැහැදීමක් ඇතිකරගන්නේ මේ දහමේ ඇති අර්ථාන්විත සුන්දරත්වය නිසාවෙනි. එමෙන්ම මෙම දහම නිවීම ම  ඉලක්ක කර ඇත. එනම් විමුක්තිය ම හරය කොට පෙන්වා දී ඇත. 

 “විමුත‍්තිසාරා සබ‍්බෙ ධම‍්මා’ති” (කිංමූලක සූත්‍රය – අ.නි. 5

“සියලු ධර්මයන්ගේ හරය විමුක්තිය යි” 

“තෙ පන සමිද‍්ධි, කිං සාරාති? විමුත‍්තිසාරා භන‍්තෙති.” (සමිද්ධි සූත්‍රය – අ.නි. 6

“සමිද්ධි, එහි (ධර්මය) හරය කුමක් ද? ස්වාමිනී, විමුක්තියයි හරය”  

විමුක්තියම සාරය කොට පෙන්වා ඇති, උතුම් තථාගත දහම ප්‍රතිපදාත්වකවම ඒ බව ප්‍රකට කර ඇත. පිරිසිදු වූ බ්‍රහ්මචරියාවක් ම එම ධර්මය තුළ ඉස්මතු වේ. බ්‍රහ්මචරියාව යනු එතෙර වන මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.. 

කතමඤ‍්ච භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො” (බ්‍රහ්මචරිය සූත්‍රය – ස.නි. 5-1

“මහණෙනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.” 

මේ ආකාරයට ඉස්මතු වන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළ බව දැනගෙන මුලින්ම එය ඉගෙන ගත යුතු වේ. අර්ථ විමසීමට පෙර එහි තිබෙන ස්වභාවය නිවැරදිව ඉගෙන ගැනීම මූලික ම කරුණ වේ. 

තමන්ගේ අදහස්වලින් තොරව ධර්මයේ තියෙන කරුණු එලෙසට ම ඉගෙනගැනීම ට අවධානයෙන් ඇසිය යුතුය. ඒ බව සෝතානුධත සූත්‍රය තුළිනුත් පෙන්වා දී ඇත. එම අසන දහමෙහි කිසිදු පදයක් හෝ අකුරක් මඟ නොහැරෙන ලෙස මතක තබා ගත යුතු ම ය. එසේ නොවුණ හොත්, මුලින් පෙන් වූ කරුණු වලට යොමු වීමට නොහැක. යම්හෙයකින් හෝ එක් අකුරක් එක් පදයක්, මගහැරුනේ නම් පෙන්වූ දහම් පරියායේ අර්ථය ඉස්මතු නොවී අනර්ථයකට යොමුවේ. එබැවින් කිසිදු අකුරක් හෝ වචනයක් මග නොහැරීම පිණිස සජ්ඣායනා කිරීම අනිවාර්ය ම වේ. මෙය ශ්‍රැතයට ම අදාළ කරුණක් බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එමෙන්ම ශ්‍රැතයට ආහාරය වන්නේ ද සජ්ඣායනාව ම බව ඉට්ඨධම්ම සූත්‍රයේ දී ද සඳහන් විය. එසේ නොකර එම දහම් පරියායේ පිළිවෙළ කල්පනා කිරීමට යා නොහැක.    

නිවැරදිව ධර්මය පද පිළිවෙළ සජ්ඣායනා කර මතක තබා ගැනීමෙන් පසු මනසින් කල්පනා කළ යුතු ආකාරය පිළිබඳව ඉදිරි ලිපියේදී සකච්ඡා කරමු. 


සක්කාය දිට්ඨිය දුරු කිරීම – 20

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම එම ධර්මය අසා දරාගෙන, වචනයෙන් පුරුදුකළ යුතු වේ. වචනයෙන් පුරුදු කිරීම නම් වූ සජ්ඣායනාව තුළින් ඇසූ දේ කිසිදු අඩුවකින් තොරව මතකයේ පවතී. එසේ මතක තබාගෙන ඇති පිළිවෙළ අනුව එහි පද ගැළපීමේ ස්වභාවය, නිදානය, පරියාය පවතින ආකාරය යන කරුණු තමාගේ මනස පාදක කරගෙන සෙවීමට යොමු වේ. මේ ආකාරයට තමාගේ මනස පාදක කර කරගෙන සිදුකළ යුතු වන්නේ අර්ථ සෙවීම නොව ශ්‍රැතය පිරිසිදු කර ගැනීමයි. මුලින් ශ්‍රැතය නිවැරදි ආකාරයට දැකීමකට නොගොස්, ඉගෙන ගන්නා පදයෙහි අර්ථය විමසමින් ශ්‍රැතය නිවැරදි කර ගැනීමට යාමේ දී සද්ධර්ම අධිමානය කට පත්වේ. 

බහුස‍්සුතො ඛො පන අයමායස‍්මා සුතධරො සුතසන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා, මජ‍්ඣෙකල්‍යාණා, පරියොසානකල්‍යාණා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති. තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. තස‍්මා අයමායස‍්මා අධිමානිකො අධිමාන සච‍්චො අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤී අකතෙ කතසඤ‍්ඤී අනධිගතෙ අධිගතසඤ‍්ඤී අධිමානෙන අඤ‍්ඤං බ්‍යාකරොති ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතකරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති.” (අධිමාන සූත්‍රය – අ.නි. 6)

“මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රැත වූයේ ය, ශ්‍රැතධර වූයේ ය, ඇසූ දේ රැස්කරන ලද්දේ වෙයි, ඒ මේ ධර්මය මුල සුන්දර වූ, මැද සුන්දර වූ, අවසානය සුන්දර වූ  අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, කේවලත්වයම පිරෙන, පිරිසිදු වූ බ්‍රහ්මචරිය (නිවන් මඟ) දේශනා කර තිබේ. එබඳු ධර්මයන් බොහෝ අසන ලද්දේ වේ. ධාරණය කරගනී. වචනයෙන් ප්‍රගුණ කරන්නේය, මනසින් කල්පනා කරන්නේය, දැකීම් පිරිසිදු වන්නේය (සුතය වශයෙන්). 

එබැවින් මේ ආයුෂ්මතුන් අධිමානය ඇතියේ වේ. අධිමානය සත්‍ය කොට ඇතියේ වෙයි. නොපැමිණි දේට පැමිණියේ යැයි හඳුනාගෙන ඇත. නොකළ දේ කළේ යැයි හඳුනාගෙන ඇත. පත්නොවූවට පත්වූයේ යැයි හඳුනාගෙන ජාතිය ක්ෂය කළේ යැයි, කළ යුත්ත කළේ යැයි, නැවත කළයුත්තක් නැති බව දන්නේ යැයි ලෙස අරහත්වය පවසයි.”

මේ ආකාරයට සද්ධර්ම අධිමානයකට යාම තුළින් අධිගම අධිමානය පවා ඇතිවේ. මෙය  ශාසනය තුළ සිදුවන මහා අනතුරකි

 “සද‍්ධම‍්මෙසු වා අධිමානිකො හොති” (අක්කොසක සූත්‍රය – අ.නි. 6)

“සද්ධර්මය කෙරෙහි අධිමානය වේ.”

ආර්ය වූ උපවාද කිරීමේ දී සිදුවන මහා ව්‍යසනවල කරුණක් ලෙසට ද මෙම සද්ධර්ම අධිමානය පෙන්වා වදාරා ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙනි. තම තමන් ඇසූ කරුණුවල අර්ථ විමසමින් තම තමන්ගේ කෝණයට අනුව එනම් ස්වකීයත්වයට අනුව එම ඇසූ ධර්මය ගැලපෙන විට යෝනිසෝ මනසිකාරයට අවකාශයක් නොලැබේ. එමෙන්ම ශ්‍රද්ධාව අනුව පැවතීමට ද අවකාශය නොලැබේ. නිවැරදි ආකාරයට ශ්‍රද්ධාව ද නොපිහිටයි. තමන් ද දන්නා බව තමන්ට වැටහෙන බව හමුවේ ශාස්තෘන් වහන්සේ කරා යොමුවීමට හෝ ශාස්තෘ දහම පෙන්වන කල්‍යාන මිතුරා ට නැමීම සිදු නොවේ.

 “සත්‍ථා භගවා, සාවකොහමස‍්මි. ජානාති භගවා, නාහං ජානාමීති.” (කීටාගිරි සූත්‍රය- ම.නි.2)

“භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවකයා වෙමි. භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මම නොදනිමි. ”

මේ සා භයානක අනතුරක් සිදු වන්නේ තථාගතයන් වහන්සේ පෙන් ව මූලික කරුණු සිදු නො නොකිරීම නිසාවෙනි. ඛිප්පාභිඤ්ඤා වූ දාරුචීරිය හා මහා ප්‍රඥා ඇති උපතිස්ස පරිබ්‍රාජකයා වැනි අයට ධර්මය අසන විට ම අර්ථ විමසීම සිදු වී මාර්ගය ඉස්මතු විය. එනමුදු සමස්තයක් ලෙස සියලු දෙනාටම එසේ සිදු නො වේ. එබැවින් සමස්තයක් ලෙස සියලු දෙනාට ම පොදු ලෙස පෙන් වූ කරුණු මුල සිටම සිදු කිරීම අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ඇසුණු පදයන් උතුම් ලෙස ගෙන ශ්‍රද්ධාව හා යෝනිසෝ මනසිකාරය ඉක්මවා සද්ධර්ම අධිමානයට පත්වේ.    

උග‍්ඝටිතඤ‍්ඤූ, විපචිතඤ‍්ඤූ, නෙය්‍යො, පදපරමො. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.” (නෙය්‍යපුග්ගල සූත්‍රය – අ.නි. 2)

“උග්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම යි. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානය.”

උග්ඝටිතඤ්ඤ, විප්පටිතඤ්ඤ වැනි අය ඉතාම කලාතුරකින් පහළ වේ. එවැනි අයට අසන විට ම අර්ථය විමසිය හැක. අප ද ඒ අය මෙන් සිතු විට එතෙර වන මඟ ඉස්මතු නොවී සද්ධර්ම අධිමානයකට පත් වී පදපරම බවට පත්වේ. එනම් ඇසූ පදය උතුම් ලෙස සැලකීමයි. එසේ වන්නේ ම එතෙර වීමක් සිදු නොවී තම තමන්ට ම එම පදය නිරවුල් වී එය ම ස්වකීයත්වයට උතුම් වීමයි. නමුත් තථාගතයන් වහන්සේ පෙන්වූ අනුපූර්ව ප්‍රතිපදාව ඒ ආකාරයට ම පිළිවෙළට කිරීමට උත්සාහ කිරීමේදී, නෙය්‍ය අය ලෙස තථාගත දහම පෙන්වන කල්‍යාන මිත්‍රයාට යොමුවී එතෙර වන මාර්ගය ඉස්මතු වෙයි.

ඇසුණු ධර්මය මනසින් කල්පනා කරන විට එතෙර වන ප්‍රතිපදාවක් වූ ස්වකීයත්ව නිරෝධය ලෙස පෙන්වූ දහම ඒ ලෙසට ම මනා ලෙස දැකීමක් ඇති වේ. එනම් දිට්ඨියා සුප්පටිවිද්ධා වේ. මෙය අවබෝධයක් නොවේ. තමන්ට වැටහීමක් ද නොවේ. සත්‍ය වූ දහම, ගම්භීර අතක්කාවචර, දුද්දස, දුරනුබෝධ, සන්ත පණීත නිපුන පණ්ඩිත වේදනීය ලෙස ඉස්මතු වීමයි. මේ ආකාරයට දිට්ඨියා සුප්පටිවිද්ධා වන විට එම කරුණුවල අර්ථ විමසීමට යොමු වී නැත. එනමුදු එම කරුණු ස්වකීයත්වයට නොවැටහෙන සත්‍යයක් බවත්, එම සත්‍ය සෙවිය යුතු බවත් සත්‍ය ගවේෂි කෙනාට ඉස්මතු වේ. මේ බව චංකී සූත්‍රය තුළ ද සඳහන් වේ. එම දේශනාව කලින් ඉදිරිපත් කරන ලදී.

සත්‍ය වූ ගැඹුරු ධර්මයක් බව සත්‍ය ගවේෂි කෙනාට ඉස්මතු වීම ද ස්වකීයයත්වයට හසු නොවීම ද යන කරුණු මත එම සත්‍ය පෙන්වූ උත්තමයන් අනුව යෙදීමට අනුගත වේ. එසේ අනුගතවීම ම තථාගතයන් වහන්සේ පෙන්වූ දහමෙහි අර්ථ විමසීමට ද පටන් ගැනේ. මෙසේ ඔහු තුළ සිදු වුණු ක්‍රියාවලිය නොහොත් හොයන ආකාරය ‘අනිත්‍ය සම්මර්ශනය’ ලෙස පැහැදිලි වේ.

එමෙන්ම දුක් ලෙස, අනාත්ම ලෙස, නිවීම සැප ලෙස, සම්මර්ශනය වීම ප්‍රතිපදාත්මකවම සක්කාය නිරෝධ මාර්ගයට අනුගතවීම වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බාන සුඛ දේශනා තුළින් ඉදිරි ලිපියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 21

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ධර්මය ඉගෙන ගැනීමට යොමුවිය යුත්තේ ඉතාම වැදගත්, සත්‍ය වූ, තමන්ගේ විෂයට ගෝචර නොවන සුන්දර වූ ධර්මයක් බව වැටහීමෙනි. මේ ආකාරයට යොමුවන විට සම්පූර්ණයෙන්ම තම අත්දැකීමේ නිස්සාරත්වය ඉස්මතු වී, අසාමාන්‍ය පැහැදීමකින් යුතු නැමීමක් ඇතිව සාවධානව මනාව කන් යොමුකිරීමක් ඇතිවේ. මේ ආකාරයට යොමුවන විට සිදුවන ප්‍රායෝගික වැඩපිළිවෙළ වන්නේ සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසට සම්මර්ශනය සිදුවීමයි. නික්මීම නම් වූ නිවීමේ සුන්දරත්වය සැප සහගත බවට යොමුවීමක්ද සිදුවේ. ඒ පිළිබඳව පහත සඳහන් සූත්‍රවල මනාව පැහැදිලි වේ.  

“සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො, සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. 

සො වත භික්ඛවෙ භික්ඛු සබ්බසඞ්ඛාරං අනිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති. සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජතීති.” (අනිච්ච සූත්‍රය – අ.නි. 4) 

“මහණෙනි, යම් භික්ෂුවක් කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත නොවූවිට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන නො වේ. සම්මත්ත නියාමයට බැස නොගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ. 

මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත වූ විට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැස ගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන වේ.” 

“සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චිසඞ්ඛාරං සුඛතො සමනුපස්සන්තො -පෙ- නෙතං ඨානං විජ්ජති.  

සො වත භික්ඛවෙ භික්ඛු සබ්බසඞ්ඛාරං දුක්ඛතො සමනුපස්සන්තො -පෙ- ඨානමෙතං විජ්ජති.” (දුක්ඛ සූත්‍රය – අ.නි. 4) 

“මහණෙනි, යම් භික්ෂුවක් කුමන හෝ සංස්කාරයක් සැප වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත නොවූවිට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන නො වේ. සම්මත්ත නියාමයට බැස නොගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ. 

මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාරයන් දුක් වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත වූ විට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැස ගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන වේ.” 

“සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චිධම්මං අත්තතො සමනුපස්සන්තො -පෙ- නෙතං ඨානං විජ්ජති. 

සො වත භික්ඛවෙ භික්ඛු සබ්බධම්මං අනත්තතො සමනුපස්සන්තො -පෙ- ඨානමෙතං විජ්ජති.” (අනත්ත සූත්‍රය – අ.නි. 4) 

“මහණෙනි, යම් භික්ෂුවක් කුමන හෝ ස්වභාවයක් ආත්ම වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත නොවූවිට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන නො වේ. සම්මත්ත නියාමයට බැස නොගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ. 

මහණෙනි, යම් භික්ෂුවක් සියලු ස්වභාවයන් අනාත්ම වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත වූ විට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැස ගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන වේ.” 

“සො වත භික්ඛවෙ භික්ඛු නිබ්බානං දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. 

සො වත භික්ඛවෙ භික්ඛු නිබ්බානං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති ඨානමෙතං විජ්ජති. සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජතීති.” (නිබ්බාන සූත්‍රය – අ.නි. 4) 

 
“මහණෙනි, යම් භික්ෂුවක් නිවීම දුක් වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත නොවූවිට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන නො වේ. සම්මත්ත නියාමයට බැස නොගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ. 

මහණෙනි, යම් භික්ෂුවක් නිවීම සැප වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්‍වාගතවීම ඒකාන්තයෙන්ම සිදු වන්නේය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්‍වාගත වූ විට සම්මත්ත නියාමයට බැස ගන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැස ගන්නාවිට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන වේ.” 

මේ සූත්‍ර දේශනා හතර තුළින් ම හමුවන විශේෂ වචනයක් තිබේ.  එනම් “සමනුපස්සති” යන වචනයයි. පාලි ව්‍යාකරණ අනුව එය ඒ ඒ තැන් යෙදෙන අයුරින් පැහැදිලි වේ. එසේ ම සක්කාය දිට්ඨිය විග්‍රහ කරන තැන්හි ද එම වචනය ඉස්මතු වේ. එය ඉදිරියේදී හමුවේ.  මෙම “සමනුපස්සති” යන වචනය හා තවත් සුවිශේෂ වචනයක් ලෙස “පජානාති” යන වචනය, එකට විස්තර වීමක් චූලසුඤ්ඤත සූත්‍රයේදී හමුවේ. සමනුපස්සති  වචනයේ  අදහස හා තථාගතයන් වහන්සේ එය ඉස්මතු කර ඇති ආකාරය ගැන පැහැදිලි කර ගැනීමට පජානාති යන වචනය ද උපකාරී කර ගනිමු. 

මේ සඳහා චූලසුඤ්ඤත සූත්‍රය ඇසුරුකරගනිමින් ඉදිරි ලිපි වලදී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 22

ලෝකයේ මිනිසුන් ජීවත්වන විට එකිනෙකා කෙරෙහි සන්නිවේදනයක් ඇතිකරගැනීම සඳහා ත්, තම තමන්ට යමක් වටහාගැනිමේ පහසුව සඳහා ත් ඒ ඒ සමාජය තුළ ඊට ආවේණික වූ ව්‍යවහාරික භාෂාවක් පවතී. එම ව්‍යවහාරික භාෂාව මුල්කරගෙනම ඒ සමාජයට යමක් සන්නිවේදනය කිරීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේ ද මෙවැනි ම වූ සමාජයක වේ. බුදුරජාණන් වහන්සේ ද සමාජය තුළ ජීවත්වීමේදී ඒ සමාජයේ ව්‍යවහාර කරන වචන අනුව ම භාවිත කරනසේක. එමෙන් ම එම ව්‍යවහාරික වචනම භාවිත කරමින් බුදුරජාණන් වහන්සේලාට ආවේණික එතෙරවන දහම පෙන්වීමද සිදුවේ. එසේ සිදුකරන විට, එය ව්‍යවහාරික භාෂාවේ වචන වලට අදාළ වුවත්, එතෙර වීම සඳහා උපකාර වන ලෙසට තීව්‍ර අර්ථ ඉස්මතු කරමින් පැහැදිලි කර ඇත. එබැවින් බුදුරජාණන් වහන්සේ ව්‍යවහාර කරන වචනවල අර්ථ වටහාගැනීමේ දී එම කරණු ගැන හොඳින් අවධානය යොමුකළ යුතු වේ. කලින් ඉදිරිපත් කිරීමට යෙදුණු ‘සමනුපස්සති’ යන වචනයේ අර්ථය වටහා ගැනීම සඳහා ‘පජානාති’ වචනය ද උපකාර කරගනිමින් පහත සූත්‍රය ඇසුරින් විමසා බලමු. .      

“සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයාති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්‍ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්‍ථීති පජානාති.”  (චූලසුඤ්ඤත සූත්‍රය – ම.නි. 3) 

“ඔහු ආකිඤ්චඤ්ඤායතන සංඥා පිළිබඳව වූ සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා පිළිබඳව වූ සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ. නමුත් මේ අශුන්‍යතාවයක් ද ඇත. එනම්, මේ කය නිසා වූ සළායතන ප්‍රත්‍ය වූ ජීවිත පැවැත්මයි. මෙසේ යමක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි සමනුපස්සති වේ. යමක් එහි ඉතිරි ව ඇත්ද, ප්‍රකට වන එය ඇති’ යි පජානාති වේ” 

“පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාති, අයං දුක්ඛසමුදයොති පජානාති, අයං දුක්ඛනිරොධොති පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති.” (මහාවෙදල්ල සූත්‍රය, ම.නි-1) 

“ඇවැත්නි, යම් සේ ප්‍රඥාවන්ත වේද, පජානාති පජානාතී යැයි කියනු ලැබේ. කුමක් පජානාති වේද? ‘මේ දුක යැයි පජානාති වේ. මේ දුක හටගැනීම යැයි පජානාති වේ. මේ දුක නිරෝධ යැයි පජානාති වේ. මේ දුක නිරෝධ ගාමිනී පටිපදාව යැයි පජානාති වේ’ යන  මෙකරුණෙන්, ඇවැත්නි ප්‍රඥාවන්ත වේ යැයි කියනු ලැබේ.” 

පජානාති යන වචනයට තථාගත දහමතුළ දී ඇති අර්ථය මහා වෙදල්ල සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. එනම් එතෙර වන මාර්ගයේ වූ මූලික අංගය වන සම්මා දිට්ඨියයි. ලෝකයෙන් එතෙර වන (ස්වකීයත්‍වය සහ ස්වකීයත්ව නිරෝධය ප්‍රඥාවෙන් දකින විදියයි.) ආකාරයට නිවැරදිව දකින විදියයි. තථාගතයන් වහන්සේට ආවේණික දහම වන ලෝකෝත්තර ධර්ම විග්‍රහය (සක්කාය නිරෝධ දහම) තුළ, පජානාති යන වචනය යෙදෙන විට ඉහත අරුත ඉස්මතු වන ලෙස පැහැදිලි කර ඇත. එනමුදු මෙය ද ලෝකය තුළ  ව්‍යවහාර  වූ වචනයකි. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අලුතින් වචන හඳුන්වා දුන්නේ නැත. ඒ ඒ සමාජය ව්‍යවහාර කරන වචන තුළින් එතෙරවන මාර්ගය ඉපැද්ද වූ සේක. ‘සමනුපස්සති’ යන වචනය ද ලෝකය තුළ ව්‍යවහාර වූ වචනයකි. එහි තථාගතයන් වහන්සේ පෙන්වා දුන් (එතෙරවන ආකාරයට) අර්ථය වටහාගැනීමට ප්‍රථම ලෝකයේ අර්ථයන්ද විමසා බලමු. ‘පජානාමි’ යන වචනය යෙදෙන්නේ උත්තම පුරුෂ ක්‍රියාපදයක් ලෙසිනි. එය ලෝකය තුළ සිටින කෙනෙක්, තමා සිදුකරන ක්‍රියාවකි. එය ලෝකයා ව්‍යවහාර කළ අතර ලෝකය තුළ සිටින බුදුරජාණන් වහන්සේ ද රහතන් වහන්සේලා ද එලෙස ව්‍යවහාර කළහ. 

“පජානාති” ලෙස යෙදෙන්නේ ප්‍රථම පුරුෂ ක්‍රියාවකි. එයද ලෝකය තුළ වූ තවත් කෙනෙකුගේ ක්‍රියාවක් ව්‍යවහාර කිරීමකි. මෙම වචනය ද බුදුරජාණන් වහන්සේ ත්, රහතන් වහන්සේලා ත් ලෝකය තුළ දී ඔවුනොවුන් පිළිබඳව ව්‍යවහාර කිරීමට භාවිත කළසේක.    

උදා: අහං පජානාමි, අග‍්ගඤ‍්ඤඤ්‍චාහං භග‍්ගව පජානාමි. 

සමණො පජානාති, …යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. 

මේ ආකාරයටම “සමනුපස්සති” වචනය ද “සමනුපස්සති” සහ “සමනුපස්සාමි” ලෙස ලෝකයේ ව්‍යවහාර කර ඇත. බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද ලෝකය තුළ දී එලෙස ව්‍යවහාර කර ඇත.  

උදා: අහං සමනුපස්සාමි 

නාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි” 

සමණො සමනුපස්සති. 

භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති” 

ඉහත පෙන්වූ වචන දෙක, එම වෙන් වෙන් වූ ආකාර තුළින් තථාගතයන් වහන්සේ ඇතුළු ව සියලු ම දෙනා ලෝක  ව්‍යවහාරයෙන් භාවිත කර ඇත. තථාගතයන්  වහන්සේට පමණක් ආවේණික වූ සක්කාය නිරෝධ ධර්මය, ප්‍රතිපදාව ලෙසට පෙන්වන විට දී “පජානාමි”, “සමනුපස්සාමි” ලෙස භාවිත නොවේ. (සතිපට්ඨාන සූත්‍ර ආදී දේශනා තුළදී ලෝකෝත්තර මාර්ගයට එළඹීම සඳහා ලෝකය තුළ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වන කරුණක් ඇති බව ගැනීම සිදුවේ. එසේ ලෝකය ප්‍රකටවන කරුණක් පාදක කරගෙන මාර්ගය ඉස්මතු කර ඇත. උදා: ‘ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති’). මන්දයත් එහි සක්කාය තහවුරු වීමෙන් “තමා” (මම) කතෘ ලෙස ඉස්මතු වේ. එය ලෝකයේ ම වේ. යෝනිසෝ මනසිකාරයට හේතුවන ලෙස ලෝකෝත්තර ධර්ම විග්‍රහය පෙන්වන සියලු තැන්හි “පජානාති” සහ “සමනුපස්සති” ලෙස පෙන්වා ඇති අතර එහි යෙදීම අනුව ව්‍යාකරණ රීතිය අනුව ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කර ඇත. සක්කාය නම් වූ ස්වකීයත්වය ඉක්මවන ධර්මයක් දේශනා කරන විට “තමා” (මම) ප්‍රධානව පවතින ක්‍රියාවක් තහවුරු වූයේ නම් එය සක්කාය නිරෝධ දහමක් නොවේ. ලෝකෝත්තර දහම පෙන්වන විට “පජානාති” අර්ථය මහාවෙදල්ල සූත්‍රයෙන් මනාව පැහැදිලි විය. එම කරුණ හා සම්බන්ධ කරගෙන චූලසුඤ්ඤත සූත්‍රය තුළින් “සමනුපස්සති” වචනයේ අර්ථය වටහා ගැනීමට උත්සාහ කරමු. 

චූල සුඤ්ඤත සූත්‍රය පුරාවටම ඒ ඒ මනසිකාරය අනුව සුඤ්ඤතාවය සිදුවන ආකාරය ගැන ‘සමනුපස්සති’ ලෙස පෙන්වා දී ඇත. එමෙන් ම ලැබුවා වූ සුඤ්ඤතාවයේ ඇති සුඤ්ඤතාබව ත් අසුඤ්ඤතාබව ත් පිළිබඳව ‘පජානාති’ ලෙස පැහැදිලි කර ඇත. ලෝකයෙන් එතෙරවන සක්කාය නිරෝධ මාර්ගයේ, මනාව දකින ආකාරයෙන් සකස් වූ සුඤ්ඤතාවය ද අසුඤ්ඤතාවය ද පජානාති වේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වූ ආර්‍ය ශ්‍රාවකයාට කිසිදිනෙක පෘතග්ජන ලෙස දකින ආකාරයක් නැත.  

එලෙසට වූ ආර්‍ය ශ්‍රාවකයාගේ දැකීම පිළිබඳ කරුණු දේශනා ඇසුරින් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 23

බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට යොමු වූ ආර්‍ය ශ්‍රාවකයා පෘතග්ජනයා දකින ආකාරයෙන් වෙන්ව වෙනස් ම ආකාරයකින් දැකීම සිදුවේ. එය මූලපරියාය සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. 

ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො පඨවිං පඨවිතො සඤ්ජානාති. පඨවිං පඨවිතො සඤ්ඤත්‍වා පඨවිං මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතො මඤ්ඤති. පඨවිං මෙති මඤ්ඤති. පඨවිං අභිනන්‍දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1) 

“මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා, ආර්‍යයන් නොදකින්නේ වෙයි. ආර්‍ය ධර්මයෙහි අදක්ෂ වේ. ආර්‍ය ධර්මයෙහි නොහික්මෙයි. සත්පුරුෂයන් නොදකින්නේ වෙයි. සත්පුරිෂ ධර්මයෙහි අදක්ෂ වේ. සත්පුරිෂ ධර්මයෙහි නොහික්මෙයි. (ඔහු) පඨවිය පඨවි වශයෙන් හඳුනාගනී. පඨවිය පඨවි වශයෙන් හඳුනාගෙන පඨවි ලෙස හඟියි. පඨවියෙහි යැයි හඟියි. පඨවියෙන් යැයි හඟියි. පඨවිය මගේ යැයි හඟියි. පඨවිය අභිනන්දය කෙරේ. ඒ කවර හෙයින්ද යත් පිරිසිඳ නොදත් හෙයින් යැයි වදාරමි.” 

යොපි සො භික්ඛවෙ භික්ඛු සෙඛො අප්පත්තමානසො අනුත්තරං යොගක්ඛෙමං පත්‍ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතො මාමඤ්ඤි. පඨවිං මෙති මාමඤ්ඤි. පඨවිං මාභිනන්‍දි. තං කිස්ස හෙතු? පරිඤ්ඤෙය්‍යං තස්සාති වදාමි.” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1) 

“මහණෙනි, යම් භික්ෂුවක් සේඛ වේද, අනුත්තර වූ නිවීම අපේක්ෂාවෙන්, ප්‍රාර්ථනාවෙන් වාසය කරයි. ඔහු පඨවිය පඨවි වශයෙන් අභිජානාති වේ. පඨවිය පඨවි වශයෙන් විශේෂයෙන් අවබෝධ කරගෙන පඨවි  ලෙස මාමඤ්ඤි වෙයි (පඨවි හැඟීමේ වැරැද්ද දැක හික්මෙයි). පඨවියෙහි යැයි මාමඤ්ඤි වෙයි. පඨවියෙන් යැයි මාමඤ්ඤි වෙයි. පඨවිය මගේ යැයි මාමඤ්ඤි වෙයි. පඨවිය මාභිනන්‍දි වේ (පඨවි අභිනන්දනයේ වැරැද්ද දැක හික්මෙයි). ඒ කවර හෙයින්ද යත් පිරිසිඳ දත් හෙයින් යැයි වදාරමි.” 

ආර්‍ය ශ්‍රාවකයාට, පෘතග්ජනයාට වෙනස්ම වූ ආකාරයට සංඛතය (සකස් වූ) පිළිබඳව දැක්මක් ඇත. එම දැක්ම පිළිබඳව විස්තරය එතෙර වන මාර්ග අංගයෙන් දැකීම (සම්මා දිට්ඨියෙන්) සිදුවන ආකාරය මූල පරියාය සූත්‍රය තුළ පැහැදිලි වේ.    

“කිත්තාවතා පන භන්තෙ, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති. 

ඉධානන්‍ද, භික්ඛු: අට්ඨානමෙතං අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.” (බහුධාතුක සූත්‍රය-ම.නි. 3) 

“ස්වාමීනි, කෙතෙකින් ඨාන අට්ඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වේද? 

“ආනන්ද, මෙහිලා භික්ෂුව ඒකාන්තයෙන් ම සිදුනොවන්නක් ලෙස මෙසේ මනාව දැනගනී. යම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් (සෝතාපන්න) කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිනේයැයි යන කරුණ කිසිදු ලෙසකින් විද්‍යාමාන නොවේ. යම් පෘතග්ජන පුද්ගලයෙක් කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිනේයැයි යන කරුණ ඒකාන්තයෙන් විද්‍යාමාන වන්නක් යැයි මනාව දැනගනී.” 

සම්මා දිට්ඨියෙන් යුතු සේඛ පුද්ගලයෙක් කිසිදු ලෙසකින් නිත්‍ය, සැප, ආත්ම වශයෙන් හඳුනානොගන්නා බව ද යොමුනොවන බව ද පැහැදිලි වේ. එසේ වූ ආර්‍ය ශ්‍රාවකයා තථාගත දහමට අනුව නිවිමේ වැඩපිළිවෙළ පුරුදු කරන විට තම තමන්‍ට ගෝචර වන සංඛත ලෝකය දකින ආකාරය වන සම්මා දිට්ඨියෙන් පජානාති වේ. මේ පජානාති යන වචනය ඉදිරිපත් වන අර්ථය ලෝකෝතර මාර්ග අංගය වන සම්මා දිට්ඨිය වේ. එය ලෝකය තුළ පවතින්නක් නොව ලෝකයෙන් එතෙර වන මාර්ග අංගය වේ.  

“සෙය්‍යථාපි භික්ඛු රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං දළ්හ පාකාරතොරණං ඡද්වාරං. තත්‍රස්ස දොවාරිකො පණ්ඩිතො ව්‍යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. පුරත්‍ථිමාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම්භො පුරිස, ඉමස්ස නගරස්ස නගරසාමී”ති? සො එවං වදෙය්‍ය: එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නොති.” 

“මහණ, යම්සේ රජෙකුගේ දැඩි පවුරු සහිත ඇති මනා උපකාර ඇති පවුරු තුළ දොරවල් හයක් ඇති නගරයක් වේ.  එහි පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, නුවණැති හඳුනන්නැති අය වලක්වන, හඳුනන අය ඇතුලු කරවන දොරටු පාලකයෙක් වේ. ශීඝ්‍රගමන් ඇති දූත යුවළක් පෙරදිගින් ඇවිත් ඒ දොරටු පාලකයාගෙන් මේ නුවරහිමියා කොහි දැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමිනී, නගර මැද වූ සිවුමංසලෙහි සිටියි.” 

“අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නිය්‍යාතෙත්‍වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය. පච්ඡිමාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං -පෙ- උත්තරාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං -පෙ- දක්ඛිණාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම්භො පුරිස ඉමස්ස නගරස්ස නගරසාමීති? සො එවං වදෙය්‍ය: “එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නො”ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නීය්‍යාතෙත්‍වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය.” 

“එකල්හි ඒ ශීඝ්‍ර දූත යුවල නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී ආ මඟට ම පිළිපන්නේ ය. ශීඝ්‍ර දුත යුවළක් පෑළදිගින් ඇවිත් … උතුරුදිගින් අවුත් … දකුණුදිගින් ඇවිත් ඒ දොරටුපල්ලාට ඒ දොරටු පාලකයාගෙන් මේ නුවරහිමියා කොහි දැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමිනී, නගර මැද වූ සිවුමංසලෙහි සිටියි. එකල්හි ඒ ශීඝ්‍ර දූත යුවල නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී ආ මඟට ම පිළිපන්නේ ය.” 

“උපමා ඛො ම්‍යායං භික්ඛු කතා අත්‍ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්‍ථ අත්‍ථො: නගරන්ති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං. මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. ඡද්වාරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. දොවාරිකොති ඛො භික්ඛු සතියා එතං අධිවචනං. සීඝං දූතයුගන්ති ඛො භික්ඛු සමථවිපස්සනානෙතං අධිවචනං. නගරසාමීති ඛො භික්ඛු විඤ්ඤාණස්සෙතං අධිවචනං. මජ්ඣෙ සිඞ්ඝාටකොති ඛො භික්ඛු චතුන්නෙතං මහාභූතානං අධිවචනං: පඨවිධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. යථාභූතවචනන්ති ඛො භික්ඛු නිබ්බානස්සෙතං අධිවචනං. යථාගතමග්ගොති ඛො භික්ඛු අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං සෙය්‍යථිදං: සම්මාදිට්ඨියා -පෙ- සම්මාසමාධිස්සාති.” 

“මහණෙනි අර්ථ පෙන්වීම පිණිස මා විසින් මේ උපමාව දේශනා කරන ලදී. ඒ මේ අරුත යි.  මහණෙනි, නුවර යනු මවුපියන්ගෙන් හටගත්, බතින් ව්‍යංජන වලින් වැඩුණු, අනිත්‍ය වූ, ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වැනසීම් ස්වභාව කොට ඇති සතර මහාභූතමය වූ මේ සිරුරට නමකි. මහණ, සය දොර යනු අධ්‍යාත්මික ආයතන හයට නමකි. මහණෙනි, දොරටුපල්ලා යනු සිහියට මේ නමකි . මහණ, ශීඝ්‍රදූත යුවළය යනු සමථ විපස්සනාවන්ට මේ නමෙකි. මහණ, නුවරහිමියා යනු විඤ්ඤාණයට නමකි. මහණ, මැද සිවුමංසල යනු පඨවි ධාතුවට ද, ආපෝ ධාතුවට ද, තේජෝ ධාතුවට ද, වායෝ ධාතුවට ද යන සතර මහා ධාතුන්ට නමෙකි. මහණෙනි, ඇති සැටි වූ වචනය යනු නිවනට නමකි. මහණෙනි, ආ මග ය යනු ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම් සම්මා දිට්ඨියට … සම්මා සමාධියට ද මේ නමෙකියි.” 

මේ දේශනාව තුළින් මාර්ගය හා මාර්ගය තුළ වූ සමථ විපස්සනාවන් කෙනෙකුට අයිති නැති බව හොඳින් ම පැහැදිලි වේ. එම එතෙරවන මාර්ග අංගයේ සම්මා දිට්ඨියෙන් සුඤ්ඤතාවය් ත්, අසුඤ්ඤතාවය ත් මනාව දැනගන්නා ආකාරය චූල සුඤ්ඤත සූත්‍රයේ දී පැහැදිලි විය. නමුත් එම සුඤ්ඤතාවය සිදුවීමේ ක්‍රියාව ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි වේ. ඉහතින් පෙන්වූ අනිත්‍ය ආදි සූත්‍ර තුළත් ‘සමනුපස්සන්තො’ ලෙස පැහැදිලි වේ. සක්කාය දිට්ඨිය විස්තර කරන විට ත් ‘රූපං අත්තතො සමනුපස්සති’ ලෙස පැහැදිලි වේ. මේ පිළිබඳව වැඩි විස්තර පසුවට ඉදිරිපත් වේ. මෙසේ සක්කාය දිට්ඨීය යෙදෙන ආකාරය පෙන්වීමේ දී ත් එම සංදර්භය සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.   

මේ කරුණ උපමාවක් ද ඇසුරුකරගනිමින් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 24

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර ප්‍රතිපදාවේ මූලිකම යොමුවන වැඩපිළිවෙල ඉස්මතු කරන විට ‘සමනුපස්සති’ යන යෙදීමක් පැහැදිලි කර ඇත. එනම් අනිත්‍ය, නිත්‍ය, සැප, දුක, ආත්ම, අනාත්ම, නිබ්බාන දුක්ඛ, නිබ්බාන සුඛ ආදී සම්මර්ශනයන් යෙදෙන ආකාරය පෙන්වීමේදීත් එම සංදර්භයන් සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.   

එම යෙදෙන ආකාරය ‘පජානාති’ වීම යනු එතෙරවන මාර්ග අංගයේ සම්මා දිට්ඨිය වේ. 

සක්කාය දිට්ඨිය ද ඒ ආකාරයටම ‘පජානාති’ වීමෙන් සක්කාය දිට්ඨිය දුරුවන ප්‍රතිපදාවට යොමුවන  බව මහාමාලුඞ්ක්‍ය සූත්‍රයේ පැහැදිලි වේ. එයද ඉදිරියේදී පැහැදිලි කරනු ලැබේ. 

මේ ‘සමනුපස්සති’ යන වචනය පැහැදිලි කරගැනීම සඳහා පහත උපමාව යොදාගනිමු.  

“අනුරාධපුර නගරයේ සිට කොළඹ නගරයට යම් පුද්ගලයෙක් වාහනයකින් ගමන් කරන බව සිතන්න. එවිට කොළඹ නගරයේ සිටින පිරිසට තමන් අනුරාධපුරයේ සිට පැමිනි බව පවසයි. එය ව්‍යවහාරික ලෝකය තුළ සත්‍යකි. නමුත් එම පුද්ගලයා කිසිදු ලෙසකින් තමන්ගේ ගමන් කරන ක්‍රියාවෙන් (ඇවිදිමින්) අනුරාධපුර සිට කොළඹට පැමිණියේ නැත. ඔහු වාහනය තුළ සිටියා පමණි. වාහනය අනුරාධපුරයේ සිට කොළඹට පැමිණියේය. මෙසේ කෙනෙක් පැහැදිලි කරන විට සත්‍ය බව පිළිගනී. ‘මම පැමිනියේ නැත, වාහනය පැමිනියා’ පෙර කියූ ව්‍යවහාරිකත්වයට වඩා මෙය සත්‍ය වේ. එනමුදු වාහනය ගමන් කරන ආකාරය පිළිබඳව ඔහු තුළ කිසිදු වැටහීමක් නැත. නමුත් තමන්ට පෙනෙන දේ අනුව පවසයි. එයත් තවත් වූ සිතීමකින් සාමාන්‍ය ව්‍යවහාරිකත්වයට එහා ගිය වෙනත් ව්‍යවහාරිකත්වයකි. වාහනයේ ක්‍රියාකාරීත්වය මනාව දන්නා ඉංජිනේරුවරයෙක් වාහනයේ මේ ආකාරයට ම වාහනයේ පැමිණි බව පවසයි. එය ඔහු පවසන්නේ හුදු ව්‍යවහාරයකින් තොරව සත්‍ය වූ සිදුවීම දැන ඒ අනුව ම ය. මේ ඉංජිනේරුවරයාට ගමන් කිරීමේ සත්‍ය ඒ ආකාරයට ම වැටහී ඇත. එනමුදු ඔහු ද ගමන් කිරීම නැමැති සිද්ධියට සම්බන්ධ නොවේ. එය සිදුවන්නේ වාහනයෙනි. නමුත් වාහනය එය නොදනී. නමුත් ගමන් කිරීම සිදුවේ.” 

  • අනුරාධපුරයේ සිට කොළඹට තමන් පැමිණි බව පැවසීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයයි 
  • අනුරාධපුරයේ සිට කොළඹට වාහනය ගමන් කිරීම නිසා පැමිණි බව වැටහීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකය ඉක්මවා තවත් ලෝක ව්‍යවහාරයකම යෙදීමකි. මන්ද යත් වාහනයේ ගමන් කිරීමේ කෘත්‍ය නිවැරදිව නොදන්නා බැවිනි. 
  • ගමන් කිරීමේ සිදුවීම වාහනයේ සිදුවේ. එනමුදු වාහනය එය නොදනී 
  • වාහනය ගැන දන්නා ඉංජිනේරුවරයා ඒ ඒ කොටස්වල ක්‍රියාකාරීත්වය මනාව සෙවීම තුළිින් සම්පූර්ණයෙන් ම වාහනය ගමන් කරන බව මනාව අවබෝධකරගනී. එසේ අවබෝධ කරගන්නා ඔහු වාහනය නොවේ. ඔහු ගමන් කිරීමේ ක්‍රියාවට ද අදාළ නැත. නමුත් ගමන් කිරීමේ ක්‍රියාව මනාව දැනගැනීම සිදුවී ඇත. එම ගමන් කීරීමේ ක්‍රියාවෙන් ඉක්ම වී ඔහු ගමන් කිරීමේ ක්‍රියාව අවබෝධකරගෙන ඇත. එය වාහනයට ද අදාළ නැත. 

මේ උපමාවට මෙසේ උපමේය වටහාගන්න. ‘සමනුපස්සති’ යනු වාහනයේ ගමන් කිරීමේ ක්‍රියාව වේ. අනුරාධපුරයේ සිට කොළඹට තමා පැමිණි බව පැවසීම ව්‍යවහාරික ලෝකයේ ‘පජානාති’ සහ ‘සමනුපස්සති’ අර්ථය වේ. අනුරාධපුර සිට කොළඹට වාහනය ගමන් කළ නිසා පැමිණි බව පැවසීම ‘සමනුපස්සති’ බව වැටහුන බවට ඒ ඒ කෙනා කරන ව්‍යවහාරය වේ. ඉංජිනේරුවරයා වාහනයේ ක්‍රියාව මනාව අවබෝධ කරගැනීම ලෝකෝත්තර මාර්ග අංගය වන සම්මා දිට්ඨියෙන් දකින ආකාරය වන ‘පජානාති’ බව වේ.  

ලෝකයෙන් එතෙරවන ලෙසට පෙන් වූ ධර්මය තුළ, සිදුවන ක්‍රියාකාරීත්වයන් ගැන පැහැදිලි කරන ‘සමනුපස්සති’ බව මනාව අවබෝධවන්නේ ‘පජානාතී’ වීමෙනුයි. එසේ ‘පජානාති’ නොවී තම තමන් ‘සමනුපස්සති’ බව වටහාගැනීමට යාමේදී ‘සමනුපස්සති වටහා ගත්තා යැයි’ විශාල මුලාවකට පත්වේ. මෙය පිළිබඳ ව සක්කාය දිට්ඨිය විග්‍රහ කරන විට තවත් හොදින් පැහැදිලි වේ.  

තම තමන්ගේ සිදුවන ක්‍රියාකාරිත්වය ‘නිත්‍ය, සැප, ආත්ම’ ලෙස වන්නේ නම් (සමනුපස්සති) ඔහුට ආර්‍ය මාර්ගයට පැමිනීමට නොහැකි බව අනිත්‍ය ආදී සූත්‍ර තුළ පෙන්වා දී ඇත. තම තමන් කල්පනා කිරීමෙන් තම තමන්ට යමක් නිරවුල් වූ විට එය තවත් ලැබීමකි. එය පිහිටීමකි. එය බැසගැනීමකි. එය තමන්‍ට අයිති දෙයකි. එය සක්කායකි. එනම් ඔහුගේ යෙදීම ‘නිත්‍ය, සැප, ආත්ම, නිබ්බාන දුක්ඛ’ සම්මර්ශනයකි (සමනුපස්සති). එබැවින් තථාගත දහම් මගට බැසගැනීමක් සිදු නොවේ.  

‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ සම්මර්ශනය (සමනුපස්සති) සිදුවීමට නම්, තම තමන්ගේ ලෝකයේ (සිතන, කල්පනා කරන, වැටහෙන) සියලුම කරුණු නිස්සාර බව වැටහී සත්‍ය පෙන්වන කෙනාට නැඹුරුවිය යුතුයි. ඔහු පෙන්වන ගම්භීර තථාගත දහම පමණක් තම තමන්ගේ ලෝකයේ සිතන විදියෙන් තොරව මනසිකාර කළ යුතුයි. මෙසේ සිදුවන විටදී ම නොලැබී ම, නොපිහිටී ම, තමා බව නොයෙදී ම ඉක්මවීමේ සැපය ලෙසට සම්මර්ශනය (සමනුපස්සති) සිදුවේ. එනම් ‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ ලෙස සම්මර්ශනය වේ. සම්පූර්ණයෙන් ම ඔහුගේ චින්තන ස්වාභාවය සිදුවන්නේ, ගම්භීර තථාගත දහම සමග පමණක්ම වේ. ඒ සඳහා ශ්‍රද්ධාව ඇතිවිය යුතුයි. එනම් මනා පිළිගැනීමක් තිබිය යුතුයි. මෙසේ කල්පනා කරන විට නිස්සාර වූ තම තමන්ගේ අත්දැකීම් ලෝකය සමග කිසිසේත්ම ගැලපීම, විමසීම සිදුනොවේ. මන්ද යත් ඒ නිස්සාර අර්ථ ශුන්‍යත්වය නිසාම ශ්‍රද්ධාව ඇතිවී පිළිසරණකට යොමුවන බැවිනි. එසේ සිදු නොවන්නේ නම් ශ්‍රද්ධාව ත්, සරණ ත් ඇති නොවේ. තම තමන්ගේ අත්දැකීම් ලෝකය පමණක් තහවුරු වේ. ‘නිත්‍ය, සැප, අත්ත, නිබ්බාන දුක’ ලෙසට සම්මර්ශනය සිදුවේ.    

මෙසේ වූ අවසනාවකට යොමු නොවී ලැබුනා වූ උතුම් මොහොත තුලින් සැබෑම ප්‍රයෝජනය ගැනීම සඳහා ශ්‍රද්ධාවෙන් යුක්තව අනුගතවීම සිදුවිය යුතු වේ. එසේ මූලිකවම සිදුවීම ශ්‍රද්ධානුසාරී නම් වේ. ලෝකෝත්තර දහම නම් වූ සක්කාය නිරෝධ ධර්මයට ප්‍රතිපදාත්මකවම යොමුවීමේ මූලික වැඩපිළිවෙල වන ශ්‍රද්ධනුසාරී ස්වාභාවය ගැන ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 25

ඉතාම කලාතුරකින් ලෝකයේ පහළවන බුදුරජාණන් වහන්සේ සක්කාය නම් වූ ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාව පෙන්වාදුන් සේක. එම ප්‍රතිපදාවට යොමුවීම සඳහා තීක්ෂණ නුවණකින් යුක්තවිම හා ගුණවත්බවින් පෝෂණයවීම අත්‍යාවශ්‍ය ම වේ. එලෙස හැකියාවෙන් යුතු කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන විට එම ප්‍රතිපදාව වන සක්කාය නිරෝධ ප්‍රතිපදාවට අනුගත වේ. එම අනුගතවීමේ මූලිකම සිදුවීම වන්නේ ශ්‍රද්ධානුසාරී වීමයි. එලෙස ශ්‍රද්ධානුසාරී වීම පිළිබඳව සං‍යුත්ත නිකාය තුන් වන පොත් වහන්සේ තුළ ඔක්කන්ති සං‍යුත්තය පුරාවටම ඉස්මතුකර ඇත. 

චක‍්ඛුං භික‍්ඛවෙඅනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවීසොතං අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවිඝානං අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවිජිව‍්හා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවීකායො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවීමනො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී.” 

යො භික‍්ඛවෙඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චතිඅයං වුච‍්චති සද‍්ධානුසාරී ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමං සප‍්පුරිසභූමිං ඔක‍්කන‍්තො වීතිවත‍්තො පුථුජ‍්ජනභූමිංඅභබ‍්බො තං කම‍්මං කාතුං යං කම‍්මං කත්‍වා නිරයං වා තිරච‍්ඡානයොනිං වා පෙත‍්තිවිසයං වා උපපජ‍්ජෙය්‍යඅභබ‍්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති.” (ස.නි. 3 – චක්ඛු සූත්‍රය) 

“මහණෙනි, ඇස අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. කණ අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. නාසය අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. දිව අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. කය අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ. මනස අනිත්‍යයි, වෙනස් වේ, අන්‍ය ස්වාභාවී වේ.  

මහණෙනි, යමෙක් මේ ධර්මයන් කෙරෙහි මෙසේ ශ්‍රද්ධාවෙන් බැසගනී ද (යෙදේද), මේ ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. නිවැරදි වූ නියාමයට (ප්‍රතිපදාවට) බැසගත්තේ වේ. සත්පුරුෂ භූමියට බැසගත්තේ වේ.  පෘතග්ජන භූමිය ඉක්මවූයේ වේ. යම් කර්මයක් කොට නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේත විෂයේ හෝ උපදී ද, එම කර්ම කිරීම අභව්‍ය වේ. ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකොට කළුරිය කිරීම ද අභව්‍ය වේ.” 

“චක‍්ඛුං භික‍්ඛවෙඅනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවීසොතං අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවිඝානං අනිච‍්චං විපරිනාමි අඤ‍්ඤථාභාවිජිව‍්හා අනිච‍්චා විපරිනාමී අඤ‍්ඤථාභාවීකායො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවීමනො අනිච‍්චො විපරිනාමී අඤ‍්ඤථාභාවී.” 

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන, ලෝකයෙන් එතෙර වන ධර්මයට යොමු වීමේ මූලාරම්භය වන්නේ ශ්‍රද්ධාව ඇති වීමයි. අනුපිළිවෙළ කථාවෙන්, තම තමන්ගේ ජීවිත පැවැත්ම නම් වූ ලෝකයේ  නිස්සාර බව,  ප්‍රකට කරවූ විට, එලෙස ඉස්මතු කළ කල්‍යාණ මිත්‍රයා පෙන්වන, බුදුරජාණන් වහන්සේ වදාළ ගම්භීර දහම පිළිබඳව මනා වූ පැහැදීමක් ඇති වේ. එලෙස ගම්භීර තථාගත දහමට පැහැදීම ඇති වූ විට එම ශ්‍රද්ධාව අනුවම සිතීමේ ක්‍රමය වන යෝනිසෝ මනසිකාරය ඇති වේ. එමෙන්ම ඒ සිතන ආකාරය තුළ තම තමන්ගේ අත්දැකීම් ලෝකය (සිතන, කල්පනා කරන, වැටහෙන) ඉක්මවන ප්‍රතිපදාව සිදුවේ. එය අනිත්‍ය සම්මර්ශනය නම් වේ. මේ ශ්‍රද්ධාව තුළ පිහිටීමෙන්, ඒ අනුව සිතන ආකාරය ඉස්මතු වීම පිළිබඳව මෙසේ ඔක්කන්ති සංයුත්තයේ සූත්‍ර ගණනාවක ම පැහැදිලි වේ. ස්කන්ධ, ධාතු, ආයතන ආදී සියලුම කරුණු මගින් පෙන්වන ධර්මයට ශ්‍රද්ධාව ඇතිවීම පිළිබඳව ඒ ඒ සූත්‍ර මගින් පැහැදිලි කර ඇත. ඒ ඒ ගෝචර බව අනුව තම තමන්ගේ අත්දැකීම් ලෝකය වැරදි බව පෙන්වා, තථාගත ගැඹුරු ධර්මය ඉස්මතු කරන විට ඒ අනුව සිදුවන මනසිකාරය සමග ශ්‍රද්ධාවට ම අනුගත වේ. එලෙස සිදුවන ආකාරය අනිත්‍ය සම්මර්ශනය නම් වේ. එමෙන්ම ඒ තථාගත දහම අනුව ඉවසීමකට (අනුලෝමඛන්තියට)  යොමු වී ඇත.  

මේ දහම තමාගේ අත්දැකීම් ලෝකය හා රිංගා ගැනීමක් ඉස්මතු නොකිරීමකි. එනම් තම තමන්ගේ ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය විස්තර කිරීමක් ද නොවේ. තම තමන්ගේ ජීවිතයේ සිදුවන ක්‍රියාවලිය තහවුරු කරමින් සක්කාය පෝෂණය කරන දහමක් ද නොවේ. තම තමන්ගේ අත්දැකීම් ජීවිතය විනාශ වන දහමක් ද නොවේ. තම තමන්ගේේ අත්දැකීම් ලෝකයෙන් ඉවත් වන දහමක් ද නොවේ. තම තමන්ගේ අත්දැකීම් ලෝකයේ ඇති නිස්සාර බව ප්‍රකට වූ විට සත්‍යට යොමු වීම පමණක් ශ්‍රද්ධාව තුළින් සිදුවේ. එවිට ඔහු සත්‍යට යොමුවී සත්‍ය රැකීමේ වැඩ පිළිවෙළට අනුගත වේ. 

තස‍්ස සා විමුත‍්ති සච‍්චෙ ඨිතා අකුප‍්පා හොතිතං හි භික‍්ඛු මුසායං මොසධම‍්මංතං සච‍්චංයං අමොසධම‍්මං නිබ‍්බානංතස‍්මා එවං සමන‍්නාගතො භික‍්ඛු ඉමිනා පරමෙන සච‍්චාධිට‍්ඨානෙන සමන‍්නාගතො හොතිඑතං හි භික‍්ඛුපරමං අරියසච‍්චං යදිදං අමොසධම‍්මං නිබ‍්බානං.” 

“ඔහුගේ ඒ විමුක්තිය සත්‍ය වූ ස්ථීරව පිහිටි වූ නොසැලෙන්නේ වේ. මහණ, යමක් මුසාවක් වේද එය මුසා ස්වාභාවයම වේ. යමක් සත්‍යද, එය මුසා නොවන ස්වාභය නිවීම වේ.  එහෙයින් මෙසේ සමන්‍වාගත භික්ෂුව මේ උතුම් සත්‍ය අධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, ඒ උතුම් ආර්‍ය සත්‍යයි. එනම් මුසා නොවන ස්වාභාවය වන නිවීමයි. ” (ම.නි. 3- ධාතුවිභඞ්ග සූත්‍රය) 

මේ පෙන්වා දුන් සත්‍ය ලෝකය තුළ හමුවීමක් හෝ ලබාගෙන සතුටු වීමක් නොවේ. මෙම දහම තුළින් එතෙර වීම නම් වූ නිවීම පමණක් ම ඉස්මතු වේ. එබැවින් මෙම දහම පහුරකට උපමා කොට ඇත. 

කුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථායතං සුණාථසාධුකං මනසිකරොථභාසිස‍්සාමීතිඑවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුංභගවා එතදවොච:  

 සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අද‍්ධානමග‍්ගපටිපන‍්නො – සො පස‍්සෙය්‍ය මහන‍්තං උදකණ‍්ණවංඔරිමං තීරං සාසඞ‍්කං සප‍්පටිභයංපාරිමං තීරං ඛෙමං අප‍්පටිභයං, න චස‍්ස නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනායතස‍්ස එවමස‍්ස: “අයං ඛො මහා උදකණ‍්ණවො ඔරිමං තීරං සාසඞ‍්කං සප‍්පටිභයංපාරිමං තීරං ඛෙමං අප‍්පටිභයංනත්‍ථි ච නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනායයන‍්නූනාහං තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තරෙය්‍යන‍්ති.” 

අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තරෙය්‍යතස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්ස: ‘බහුකාරො ඛො මෙ අයං කුල‍්ලොඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තිණ‍්ණොයන‍්නූනාහං ඉමං කුල‍්ලං සීසෙ වා ආරොපෙත්‍වා ඛන්‍ධෙ වා උච‍්චාරෙත්‍වා යෙන කාමං පක‍්කමෙය්‍ය’න‍්තිතං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙඅපි නු සො පුරිසො එවංකාරී තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්සාති? ‘නො හෙතං භන‍්තෙ’. 

කථංකාරී ච සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්සඉධ භික‍්ඛවෙ තස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්සබහුකාරො ඛො මෙ අයං කුල‍්ලොඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තිණ‍්ණොයන‍්නූනාහං ඉමං කුල‍්ලං ථලෙ වා උස‍්සාදෙත්‍වා උදකෙ වා ඔපිලාපෙත්‍වා යෙන කාමං පක‍්කමෙය්‍යන‍්තිඑවංකාරී ඛො සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්සඑවමෙව ඛො භික‍්ඛවෙ කුල‍්ලූපමො මයා ධම‍්මො දෙසිතො නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථායකුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිතං ආජානන‍්තෙහි ධම‍්මාපි වො පහාතබ‍්බාපගෙව අධම‍්මා.”  (ම.නි.1- අලගද්දූපම සූත්‍රය) 

“මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ග්‍රහණය කරගැනීම පිණිස නො වේ. එය අසව්. මැනැවින් මනසිකාරය කරව්. දේශනා කරන්නෙමි යි. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: 

 මහණෙනි, දීර්ඝ ගමනකට පිළිපන් පුරුෂයෙක් සේ වේ ද, ඔහු සැක සහිත වූ බිය සහිත වූ මෙතෙර ද, සැක රහිත, බිය රහිත එතෙර ද, මහත් වූ ජලකඳ ද  දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට නැවක් හෝ පාරුවක් නොවන්නේ ය. ඔහුට මෙවැනි අදහසක් ඇතිවන්නේ ය: “මේ මහා ජලකඳකි. මෙගොඩ සැක සහිත ය. බිය සහිත ය. එතෙර උවදුරු රහිත ය. ප්‍රතිභය රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා නැවක් හෝ පහුරක් හෝ නැත. මම තණකොළ , ලී දඬු, අතුකොළ කඩා එකතු කොට පහුරක් බැඳ ඒ පහුරින් අතින් හා පයින් උත්සාහ කරමින් සුව සේ එතෙර වන්නෙම් නම් මැනැව” කියා යි. 

ඉක්බිති මහණෙනි, ඒ පුරුෂයා තණකොළ, දඬු, අතුකොළ කඩා පහුරක් බැඳ ඒ පහුරින් අතින් හා පයින් වෑයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට – ‘මට මේ පහුර බොහෝ උපකාරී වී ය. මම මේ පහුර හිස තබාගෙන හෝ කර තබාගෙන හෝ කැමැති මඟකින් යන්නෙම් නම් මැනැවැ’යි මෙබඳු අදහසෙක් වන්නේ නම්, මහණෙනි, ඒ කුමක් හඟින්නේ ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂයා ඒ පහුරට කළයුතු දෑ කරන්නෙක් වන්නේ ද? ‘ස්වාමින් වහන්ස, නො වේ ම ය’… 

මහණෙනි, ඒ පුරුෂයා ඒ පහුරට කුමන කටයුත්තක් කළ යුතු වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණි ඒ පුරුෂයාහට මෙවැනි අදහසෙක් වන්නේ ය: ‘මට මේ පහුර බොහෝ උපකාර විය. මම මේ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පහුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙම් නම්, මැනැවැ’යි. මහණෙනි, මෙසේ කරන ඒ පුරුෂයා ඒ පහුරට කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් මා විසින් පහුර උපමා කොට ධර්‍මය දේශනා කරන ලදී. එය එතෙර වීම පිණිස ය. ග්‍රහණය කරගැනීම පිණිස නො වේ. මහණෙනි, පහුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින් ධර්‍මයෝ ද පහකළ යුත්තාහ. අධර්‍මයෝ කවර කතාද?.” 

මෙසේ එතෙර වීම පිණිස පෙන්වන ධර්මය පිළිබඳව ඉදිරි ලිපියේ සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 26

විමුක්තිකාමි සමාජය තුළ බොහෝ අය විවිධ ධර්ම විනයන් තුළින් විමුක්තවීම සඳහා වැඩපිළිවෙළවල් භාවිත කළහ. ඒ ඒ අය ඒ ඒ ධර්ම විනයන් තුළින් භාවිත කළ ප්‍රතිපදාවන් නිසා විමුක්ත වූ බව සිතූහ. එනමුත් ඒ කිසිවෙකුත් සැබෑවට ම විමුක්ත වූයේ නැත. එම සමාජය තුළ ම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වී සැබෑම විමුක්තිය පෙන්වා දුන්සේක. එලෙස එතෙරවීම පෙන්වන ධර්මය ලෝකයේ සිටින අයට ලෝකයේ ව්‍යවහාරික වචන භාවිත කරමින් ම පෙන්වූහ. එතෙර වීම පිණිස ධර්මය පෙන්වන විට ලෝකයේ ඇති ව්‍යවහාරික වචන භාවිත කරන අතර එය අත්දැකීම් ලෝකය හා සම්බන්ධ කරගෙන තහවුරු කිරීමක් නොකර ගත යුතුය. එය එතෙරවීමේ චින්තනය ඉස්මතු කරමින් පෙන්වන සත්‍යයක් පමණි. ලෝකයේ ව්‍යවහාර කරන කරුණු පාදක කර ගන්නා නිසා ඒවාට රිංගා ගෙන තම තමන් ගේ ලෝකය සත්‍ය බව සිතා ගෙන එය ඉවත් කිරීමක් තථාගත දහම තුළින් සිදු නොවේ. තම තමන්ගේ ලෝකය ප්‍රහාණය කොට තමන් නැති බවට (ආත්ම නැති බව) සිදුවන වැඩපිළිවෙළක් තුළින් තථාගතයන් වහන්සේට චෝදනාවක් එල්ලවේ.  

චක‍්ඛුං ඛො මාගන්‍දිය රූපාරාමං රූපරතං රූපසම‍්මුදිතංතං තථාගතස‍්ස දන‍්තං ගුත‍්තං රක‍්ඛිතං සංවුතංතස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙතිඉදං නු තෙ එතං මාගන්‍දිය සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති 

“මාගන්‍දිය, ඇස, රූපය ආරාම (වාසස්ථානය) කොට ඇත. රූපයේ ඇලුණේ ය. රූපයේ සතුටු වන ලදය. තථාගතයන් වහන්සේ  එය දමනය කරන ලදී, ආරක්ෂා කරන ලදී, රක්නා ලදී, සංවර කරන ලදී. එය සංවරය පිණිස ධර්මය දෙසන සේක. මාගන්‍දිය තොප විසින් මේ සඳහා මෙකරුණ කියන ලදී  ‘ශ්‍රමණ ගෞතමයන් විනාසය පනවන ලද්දෙක් යැයි’ යනුවෙනි.  (මාගන්‍දිය සූත්‍රය- ම. නි. 2) 

ලෝකයේ ව්‍යවහාර කරන වචනයන් උතුම් කොට නොගෙන (පද පරම), සත්‍ය සෙවීමේ චින්තන වැඩ පිළිවෙල ඉස්මතු කරගත යුතු වෙයි. තමා ඉන්නා බව ඇති හැඟීම නිසා ධර්මය තුළ පෙන්වන ව්‍යවහාරික වචන තුළින් තමන්ගේ ලෝකය වැරදි බවත් එයින් ඉක්ම විය යුතු බවත් සිතීමට පුළුවන. එය දහම නොවේ. මන්දයත් තමන් සිතන බව වූ සක්කාය තහවුරු වීමත්, එය නැති වීම නිසා උච්ඡේදයත් යන දෘෂ්ටියන් ට අනුගත වේ. 

අනත‍්තනි අත‍්තමානිං පස‍්ස ලොකං සදෙවකං, 
නිවිට‍්ඨං නාමරූපස‍්මිං ඉදං සච‍්චන‍්ති මඤ‍්ඤති.” 

“අනාත්ම වූව ආත්ම වශයෙන් ගෙන සිටින සියලු ලෝකයා දෙස බලව්. නාම රූපය කෙරෙහි රිංගාගෙන මෙය සත්‍ය යැයි හඟියි.” (ද්වයතානුපස්සනා සූත්‍රය, සු.නි.) 

ආත්ම බව ගැනීම නිසාම නාම රූපයට රිංගාගෙන ජීවත් වේ. එම අත්දැකීම වැරදි බව සිතුණු විට විමුක්තවීම සඳහා  විවිධ සිතන රටාවන්ට යොමු වේ. නමුත් එම වැඩපිළිවෙළ විමුක්තවීමක් නොව, ආත්ම විනාශයකි. එමෙන්ම එය එතෙරවීමේ මඟ හෝ සත්‍ය ගවේෂණය නොවේ.  

යදා ස‍්වාහං ආවුසො සන‍්තිට‍්ඨාමිතදාස‍්සු සංසීදාමියදා ස‍්වාහං ආවුසො ආයූහාමි තදාස‍්සු නිබ‍්බුය‍්හාමිඑවං ඛ‍්වාහං ආවුසො අප‍්පතිට‍්ඨං අනායූහං ඔඝමතරින‍්ති. 

“ඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටිම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වීර්‍ය කෙරෙම් ද එකල්හි ඉල්පෙමි. ඇවැත්නි, මෙසේ මම නො පිහිටමින් ද වීර්‍ය නො කරමින් ද ඕඝය තරණය කළෙමි.” (ඕඝතරණ සූත්‍රය, ස.නි. 1) 

කථඤ‍්ච භික‍්ඛවෙ ඔලීයන‍්ති එකෙ? 

භවාරාමා භික‍්ඛවෙ දෙවමනුස‍්සා භවරතා භවසම‍්මුදිතාතෙසං භවනිරොධාය ධම‍්මෙ දෙසියමානෙ චිත‍්තං න පක‍්ඛන්‍දති න පසීදති න සන‍්තිට‍්ඨති නාධිමුච‍්චතිඑවං ඛො භික‍්ඛවෙ ඔලීයන‍්ති එකෙ. 

කථඤ‍්ච භික‍්ඛවෙ අතිධාවන‍්ති එකෙ? 

භවෙනෙව ඛො පනෙකෙ අට‍්ටීයමානා හරායමානා ජිගුච‍්ඡමානා විභවං අභිනන්‍දන‍්ති ‘යතො කිර භො අයං සත්තො කායස‍්ස භෙදා පරම‍්මරණා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා. එතං සන‍්තං එතං පණීතං එතං යථාවන‍්ති. එවං ඛො භික‍්ඛවෙ අතිධාවන‍්ති එකෙ.” 

“මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේනම් ඇලෙන්නේ (ලැගගන්නේ) වේද?  

මහණෙනි, දෙව්මිනිසුන් භවයෙහි ඇලුනාහුය , භවයෙහි නිරත වූවාහුය (වාසස්ථානය), භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිශ්චයට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් ඇලෙත්. 

 මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේ නම් ඉක්මවා දුවත් ද? 

ඇතැමෙක් භවයෙන් ම පෙළනු ලබන කල්හි, ලජ්ජිත වෙයි, පිළිකුල් කරයි, නොපැවැත්මෙහි සතුටු වෙති. භවත්නි, යම් හෙයකින් මේ සත්වයා කය බිදී මරණින් මතු සිඳේ ද, නැසේ ද, මරණින් මතු නො වේ ද වේ. එය ශාන්ත ය, එය ප්‍රණීතය, ඒ එසේම වන්නේය වශයෙනි. මහණෙනි, මෙසේ ඇතැමෙක් ඉක්මවා දුවත්.” (දිට්ඨිගත සූත්‍රය, ඉතිවු.) 

යෙ හි කෙචි සමණා වා 

බ්‍රාහ‍්මණා වා භවෙන භවස‍්ස 

විප‍්පමොක‍්ඛමාහංසු 

සබ‍්බෙ තෙ අවිප‍්පමුත‍්තා භවස‍්මාති වදාමි. 

යෙ වා පන කෙචි සමණා වා 

බ්‍රාහ‍්මණා වා විභවෙන භවස‍්ස නිස‍්සරණමාහංසු 

සබ‍්බෙ තෙ අනිස‍්සටා භවස‍්මාති වදාමි.” 

“යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පැවැත්මෙන් පැවැත්මේ ම නිදහස්වීමක් යැයි කියයි, ඒ සියල්ලෝම නොමිදුණාහුය. පැවැත්මේ ම යැයි වදාරමි. 

යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නොපැවැත්මෙන් පැවැත්මේ නිදහස්වීමක් යැයි කියයි, ඒ සියල්ලෝම නොමිදුණාහුය. පැවැත්මේ ම යැයි වදාරමි.” (ලෝකාවලෝකන සූත්‍රය, උදාන) 

පිහිටීමෙන් හෝ ඉක්මවීමෙන් තොරව සත්‍ය ආරක්ෂා කරමින් සිදුවන ප්‍රතිපදාව පෙන්වීම සඳහා තථාගතයන් වහන්සේ පහළ වී ධර්මය වදාළ සේක. එතෙරවීමට අනු වූ චින්තනය ඇති වීම සඳහා එය කියවීමක් පමණක් ම වේ. එනම් ප්‍රතිපදාවට බැස ගැනීම තුළින්ම පහුරක් බවට ප්‍රත්‍යක්ෂ වේ.  

“අක‍්ඛෙය්‍ය සඤ‍්ඤිනො සත‍්තා අක‍්ඛෙය්‍යස‍්මිං පතිට‍්ඨිතා, 

අක‍්ඛෙය්‍යෙ අපරිඤ‍්ඤාය යොගමායන‍්ති මච‍්චුනො. 

අක‍්ඛෙය්‍යෙ ච පරිඤ‍්ඤාය අක‍්ඛාතාරං න මඤ‍්ඤති, 

තඤ‍්හි තස‍්ස න හොතීති යෙන නං වජ‍්ජා න තස‍්ස අත්‍ථි, 

“කියවීම ම හඳුනාගැනීමෙන් යුත් සත්වයෝ කියවීම කෙරෙහි පිහිටා ඇත. කියවීම පිරිසිඳ නොදැකීමෙන් ඔවුන් මාර වසඟයේ යෙදුනාහු වෙති. කියවීම ද පිරිසිඳ දැක, කියවීමෙහි හැඟීමක් ද නැතිවිට එයින්ම ඔහු නොවේ. ඔහුට වැරදි වූවක් නැත.” (සමිද්ධි සූත්‍රය, ස.නි. 1) 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ව්‍යවහාරික තාත්වික භාෂාවෙන් ඉස්මතු කළහ. එසේ පෙන්වන ලද වචන තුළින් ප්‍රායෝගික ව එතෙර වීමක් ම සිදුවේ. කිසිදු ලෙසකින් ලැග ගැනීමකට ඉඩක් දී නැත. එම නිසා ඒ සියල්ලක්ම කියවීමක් ම පමණක් වේ. මේ ආකාර වූ ගම්භීර දහමකට යොමුවීම සඳහා ජීවිතය තුළ නිස්සාර භාවය මුලින් ම වැටහිය යුතු වේ. එසේ වැටහීමෙන් යුතුව දහමට යොමුවන ආකාරය ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 27

තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ ඇති නිස්සාර බව අනුපිළිවෙළ ආදී කතා තුළින් අවබෝධ වුණු විට එසේ ගැඹුරු දහම පෙන්වන උත්තමයාට යොමු වී ඒ පෙන්වන දහම ඉගෙන ගැනීමට යොමුවේ (සුතා, ධතා…). මේ පිළිබඳව පෙර විස්තර කරන ලදී. මේ ආකාරයට නිවැරදිව ඉගෙන ගත් විට එය තමන්ගේ අත්දැකීම් ලෝකයට ගෝචර නොවන්නකි. එනිසා එසේ අසා දරාගත් දේ තුළින් සත්‍ය සෙවීමට යොමු වේ. එය  ශ්‍රද්ධානුසාරී වීමයි. මෙය සිදුවන ආකාරය පිළිබඳව කීටාගිරි සූත්‍රයේ ද චංකි සූත්‍රයේ ද හොඳින් පැහැදිලි කර ඇත. 

“කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා අඤ‍්ඤාරාධනා හොති: ඉධ භික‍්ඛවෙ, සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමං සච‍්චං සච‍්ඡිකරොති; පඤ‍්ඤාය ච නං පටිවිජ‍්ඣ පස‍්සති.” 

“මහණෙනි,  අනුපූර්‍ව හික්මීමෙන්, අනුපූර්‍ව ක්‍රියාවෙන්, අනුපූර්‍ව ප්‍රතිපදාවෙන් අවබෝධයට පත්වීම කෙසේ වෙයිද? මහණෙනි, මෙහි භික්ෂුව ශ්‍රද්ධාව උපදවාගෙන එළඹේ. යොමුවීමෙන් සුහදශීලිව ඇසුරුකරයි. සුහදශීලි ඇසුරුකිරීමෙන් කන් යොමුකරයි. කන් යොමුකරමින් ධර්මය අසයි. ඇසූ ධර්මය දරා ගනී. දාරාගත් ධර්මයෙහි අර්ථ උපපරීක්ෂණය කරයි. අර්ථ උපපරීක්ෂණය කිරීමෙන් ධර්ම නිෂ්ඨාවේ ඉවසයි. ධර්ම නිෂ්ඨාව ඇති කල්හි කැමැත්ත උපදී. කැමැත්ත උපදීමෙන් උත්සාහ කරයි. උත්සාහ කිරීමෙන් (දහම සමඟ) තුලනය වේ. තුලනය වීමෙන් දැඩි වීර්‍ය කරයි. දැඩි වීර්‍යයෙන් යුතුව පරම සත්‍යත්වය සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් ද අවබෝධ කරයි.”  (කීටාගිරි සූත්‍රය – ම.නි.2) 

ශ්‍රද්ධාව එළැඹීම සඳහා සත්‍ය රකින ගතිය තිබිය යුතු බව කලින් විස්තර කළ චංකී සූත්‍රය අනුව හොඳින් පැහැදිලි වෙයි. ඉතාම ගෞරවයෙන් කල්‍යාණ මිතුරා කෙරෙහි එළඹි සුහදශීලී ඇසුරක් ඇති කරගෙන, එම පෙන්වන දහම කන් යොමාගෙන මනාව ශ්‍රවණය කලයුතු වේ. එය ශ්‍රවණය කොට දරා ගන්නා ආකාරය (සුතා, ධතා…) කලින් විස්තර කරන ලදී. එලෙස දරා ගන්නා ලද ධර්මය තුළින්ම ශ්‍රද්ධාව අනුවම යෙදෙමින් අර්ථයන් සෙවීමට පටන් ගනියි. එනම් අර්ථ උපරීක්ෂණය කරයි එම ධර්මයට ළං වී අර්ථය සෙවීම සිදුවේ.   

සුතය තුළ ඇති දිට්ඨියා සුප්පටිවිද්ධා වීම සඳහා මනසින් කල්පනා කිරීමත් මෙතන පෙන්වන අර්ථ උප පරීක්ෂණයත් හාත්පස වෙනස් කරුණු දෙකකි. තථාගත දහම මුල, මැද, අග පිරිසිදුභාවය, පද පිළිවෙළ, පරියාය, නිධානය නිවැරදිව මනසින් විමසීම මනසානුපෙක්ඛති වේ. එවිට, පෙන්වූ ඒ කරුණු තථාගත දහම විදියට ම මනාව දකී. එසේ නොකර අර්ථ විමසීමට යෑමේ දී තමන්ගේ ලෝකයේ කරුණු සමග ගැලපී දිට්ඨියා සුප්පටිවිද්ධා වේ. එය සද්ධම්ම අධිමානය වේ. ඔහුට අධිගම අධිමානයක් ඇති වේ. එමෙන්ම මිච්ඡා ප්‍රතිපදාවකට ද යොමු වේ. තම තමන්ගේ ගෝචර ලෝකයේ සත්‍ය හමුවීමෙන් සක්කාය ම තහවුරුවෙයි. තථාගත දහමින් බොහෝ දුර වෙයි. තථාගත දහම යනු සක්කාය නිරෝධ වන ප්‍රතිපදාවයි.  

දිට්ඨියා සුප්පටිවිද්ධා නිවැරදි වූ විට තම තමන්ගේ අත්දැකීම් ලෝකයට කිසිසේත් නොගැලපෙන සත්‍යයක් නිසා, ශ්‍රද්ධාව අනුව සිටීමට පටන් ගනී. එය ශ්‍රද්ධානුසාරී වීමත්, යෝනිසෝ මනසිකාරය සිදුවීමත් වේ. මේ ආකාරයෙන් සිදු වන්නේ එම දහමට ළං වී අර්ථ සොයන විට දී ය. එවිට තථාගත දහමේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව සිදු වේ. එනම් අනිත්‍ය සම්මර්ශනය ප්‍රතිපදාත්මක ව ම  සිදුවේ. තම තමන්ගේ ලෝකයක් හමුනොවේ. දහමට ළං වී අර්ථය සෙවීම පමණක් ම සිදු වේ. එසේ ප්‍රතිපදාව සිදුවන විට සක්කාය දුරුවීම ප්‍රායෝගික වන බැවින් කෙසේ නම් තම තමන්ට යමක් වැටහුණු බව ලැබෙන්නද? කුමක නම් සත්‍ය යැ යි රිංගා ගන්න ද? එය සක්කාය දුරු කරන ප්‍රායෝගික ප්‍රතිපදාව ම වේ. 

“තථා තථා භික‍්ඛවෙ, භික‍්ඛු උපපරික‍්ඛෙය්‍ය, යථා යථාස‍්සු උපපරික‍්ඛතො බහිද‍්ධා චස‍්ස විඤ‍්ඤාණං අවික‍්ඛිත‍්තං අවිසටං අජ‍්ඣත‍්තං අසණ‍්ඨිතං අනුපාදාය න පරිතස‍්සෙය්‍ය.” 

“ මහණෙනි, භික්ෂුවක් යම් යම් ආකාරයට උපපරීක්ෂණය කරයිද, ඒ ඒ ආකාරයට උපපරීක්ෂණය කරන විට, බාහිර දැනගැනීමේ ද නොවිසිරේ, වික්ෂිප්ත නොවේ. ආධ්‍යාත්මයේ පිහිටියේ නොවේ. උපාදාන නොවීමෙන් පසුනොතැවේ.” (උද්දේසවිභඞ්ග සූත්‍රය- ම.නි. 3) 

 
උප පරීක්ෂණය සිදුවන විට යෙදෙන වැඩපිළිවෙළ මේ උද්දේස විභංග සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බාහිරයට විසිරීමක් සිදු නොවන විට එතෙර වන ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඉස්මතු වී ඇත. උප පරීක්ෂණය වීම තුළින්  එය සිදුවන ආකාරය පෙන්වා දී ඇත. ඒ තුළින් මනස මුල් කරනගෙන (අරමුණු වලට යෑමක් නැතිව) හෝ දැන ගැනීමක් සිදු නොවන ආකාරයට සක්කාය නිරෝධ වීමේ ප්‍රතිපදාව සිදුවේ. එමෙන්ම මේ ආකාරයට උප පරීක්ෂණය සිදු වන විට සිතෙහි විසිරීමක් නොවී සමාහිත බවට පත්වේ. සිත සමාහිත නොවී අඩුම තරමින් ධර්මය ඇසීමට වත් නොහැකි බව අනු පිළිවෙළ කථාව තුළින් හා සම්මත්තනියාම සූත්‍ර තුළින් පැහැදිලි වේ. නිවැරදිව ම අර්ථය උප පරීක්ෂණය කරන විට ලෝකය තුළින් එසේ සිදුවීම සමාහිත සිතක් බව පැහැදිලි කර ඇත. එනමුත් එය තම තමන්ගේ අත්දැකීමක් සිදු නොවන බව උද්දේස විභංග සූත්‍රයේ ආධ්‍යාත්මයේ බැස නොගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමෙන් ඉස්මතු වේ. ධ්‍යානයට ත් පත් වුවද එම ධ්‍යාන අංග දැනගැනීමෙන් යුක්ත නොවන බව ඉතාම හොඳින් පැහැදිලි කර ඇත. එලෙස ධ්‍යාන අංගයන් අත්විඳීම්ක් නොවන බව තුළින් සක්කාය නිරෝධය කිරීමේ ප්‍රතිපදාව ප්‍රායෝගික ව ඉස්මතු වී ඇත. ධ්‍යානයක් ඇති බව එම අංග තුළින් ප්‍රත්‍යක්ෂ වන්නේ නම් එයින් සක්කාය ම තහවුරු වී ඇත. එය තථාගත දහමට ආවේණික (බුදුවරුන්ට පමණක් ආවේණික) ප්‍රතිපදාව නොවේ. අන්‍ය වූ විමුක්තිකාමීන් පුරුදු කළ ප්‍රතිපදාවක් වෙයි. එමෙන්ම එසේ වඩන සමාධිය යමෙකුට  දිටු දැහැමිව සැපයේ වාසය කිරීමටද එය උපකාරිවේ. ලෝකය තුළ ඉන්නා වූ කෙනෙකුට කාමයන්ගෙන් ලැබෙන පීඩාවෙන් වෙන්වී සැපසේ වාසය කළ හැක. 

මේ ආකාරයට ලෝකය තුළ පවතින්නක වාසය කිරීමක්  සිදුනොවන ආකාරයට බුදුරජාණන් වහන්සේ අර්ථ උපපරීක්ෂණය පැහැදිලි කර ඇත. අර්ථ උපපරීක්ෂණය සිදුවන විට එතෙරවන ප්‍රතිපදාව අනුව ඉවසීමකට යොමුවී සක්කාය නිරෝධ වීම සිදුවේ. එලෙසට සිදුනොවන්නේ නම් ලෝකය තුල යම්කිසි ස්වාභාවයක් අත්දැකීම සිදුවේ. එයම සක්කායකි. එසේ වූ සක්කායේදී ලෝකය දකින ආකාරයේ හොඳ නරක අනුව ජීවත් වේ.  එසේ ලෝකය තුළ යහපත්ව ජීවත් වීමේදී සැපසේ වාසය කිරීම සඳහා ධ්‍යාන උපකාර වේ. එය බුදුවරුන්ට ආවේණික එතෙරවන දහම ද නොවේ. ඒ පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 28

විමුක්තිකාමි සමාජය තුළ යථාර්ථවාදී ධර්ම විනයක් තුළින් ලෝකයෙන් විමුක්තවීමක් සොයන අය මධ්‍ය දේශික සමාජය තුළ සිටිති. ඒ අය සොයන විමුක්තිය තුළ ද හික්මීෙමේ වැඩපිළිවෙළකින් ඒ ධර්ම විනයට අනුව ලෝකය තුළ සමාධි සමාපත්ති ලබයි.ඒ සියල්ලම ලෝකය තුළ ලබන විමුක්තිකාමි සමාජයට අවේණික උතුම් සමාධි සමාපත්ති වේ. එම සමාජය තුළ පහළවන බුදුරජාණන් වහන්සේ එම සමාපත්ති විවේචනය නොකළ අතර ඒවා සියල්ල තුළින්ම සැපසේ වාසය කළ හැකි බව පෙන්වා දී ඇත.  

ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති – යං ඉධෙකච‍්චො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යතස‍්ස එවමස‍්සසල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්තිදිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.” 

“චුන්‍දය, මේ ශාසනයෙහි යම් භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඔහු හට කෙලෙස් ක්ෂය වීමෙන් යුක්ත ව වාසය කරමි’යි විය හැක. චුන්‍දය, මෙය ආර්‍ය්‍ය විනයයෙහි කෙලෙස් ක්ෂය වීමක් යැයි කියනු නොලැබේ. මෙය ආර්‍ය්‍ය විනයෙහි දිටුදැහැමෙහිම සැප විහරණයක් ය යි කියනු ලැබේ. -පෙ-” (සල්ලේඛ සූත්‍රය – ම.නි.1) 

“ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං භික‍්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට‍්ඨධම‍්මසුඛවිහාරාය සංවත‍්තති.” 

“මහණෙනි, මෙහි භික්ෂුව කාමයන් කෙරෙන් වෙන්ව -පෙ- … චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවැද වාසය කරයි. මහණෙනි, වඩන ලද බහුල කරණ ලද මේ සමාධි භාවනාව  දිටුදැහැමෙහිම සැප විහරණයක් පවතී ය යි කියනු ලැබේ.” (සමාධි භාවනා සූත්‍රය – අ.නි. 2) 

“කතමා ච භික‍්ඛවෙ සුඛා පටිපදා දන්‍ධාභිඤ‍්ඤා? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- 

“මහණෙනි, සැප ප්‍රතිපදාවෙන් වහා අවබෝධ වෙනවා යනු කුමක්ද? මහණෙනි, මෙහි භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි -පෙ-.” (තතියපටිපදා සූත්‍රය – අ.නි. 2) 

මේ ආකාරයට යම් කෙනෙකුට සැපසේ වාසය කිරීම සඳහා ධ්‍යාන අංගයන් භුක්ති විදිමින් ලෝකය තුළ ජීවත්විය හැක. එතෙර වන මාර්ගය සිදු වන විට ලෝක ව්‍යවහාරයෙන් ධ්‍යානයන් කතා කළ මුත් ඒවා අත් විඳීමක් නො යෙදේ. මන්දයත් අත්විඳින්නෙක් එතෙරවන ප්‍රතිපදාවට  යෙදීමක් සිදු නොවේ. ස්වකීයත්වය නම් වූ සක්කාය දුරුවන ප්‍රතිපදාවේ දී අත් විඳීමක්, අත්විඳින්නෙක්, ලැබීමක් හෝ තම තමන් බව යන හැඟීමක් හෝ නො යෙදේ. නමුත් ලෝකයාට ප්‍රතිපදාව විස්තර කරන විට ලෝකයේ ඇති උතුම් කරුණු වන ධ්‍යාන ආදිය ගැන පැහැදිලි කරමින් එතෙර වන ප්‍රතිපදාව ඉස්මතු කර ඇත. 

“කතමො චාවුසො, සම‍්මාසමාධි: ඉධාවුසො, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.” 

“ඇවැත්නි, සම්මා සමාධිය කුමක්ද? ඇවැත්නි, මෙහි භික්ෂුවක් කාමයෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති පළමු වන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. -පෙ- සතරවන ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.” (සච්චවිභඞ්ග සූත්‍රය – ම.නි. 3) 

“සො එවං පජානාති: ‘ඉමං චෙ අහං උපෙක‍්ඛං එවංපරිසුද‍්ධං එවංපරියොදාතං ආකාසානඤ‍්චායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතං. -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසංහරෙය්‍යං, තදනුධම‍්මඤ‍්ච චිත‍්තං භාවෙය්‍යං, සඞ‍්ඛතමෙතන‍්ති. සො නෙව තං අභිසඞ‍්ඛරොති, නාභිසඤ‍්චෙතයති භවාය වා විභවාය වා. සො අනභිසඞ‍්ඛරොන‍්තො අනභිසඤ‍්චෙතයන‍්තො භවාය වා විභවාය වා න කිඤ‍්චි ලොකෙ උපාදියති.” 

“ඔහු මෙසේ නුවණින් දැනගනී: ‘ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ පරියෝදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට යොමුකරන්නේ නම් ඒ ස්වාභාවයේ සිත භාවිත කරන්නේ නම් එය ද සඞ්ඛතයක් ම ය. -පෙ-  නේවසඤ්ඤානාසඤ්ඤායතනයට යොමුකරන්නේ නම්, එළවම් නම් ඒ ස්වාභාවයේ සිත භාවිත කරන්නේ නම් එය ද සඞ්ඛතයක් ම යි. ඔහු එය අභිසංස්කරණ නො කෙරෙයි. පැවැත්ම පිණිස හෝ නොපැවැත්ම පිණිස හෝ අභිසඤ්චේතනා නො කෙරෙයි. ඔහු අභිසංස්කරණ නො කරන්නේ ද අභිසඤ්චේතනා නො කරන්නේ ද පැවැත්මේ හෝ නොපැවැත්මේ හෝ ලෝකයේ කිසිවක් උපාදාන නොකෙරේ.” (ධාතු විභංග සූත්‍රය – ම.නි.3 ) 

උද්දේස විභංග සූත්‍රයට අනුව උපපරීක්ෂණය සිදුවන විට කිසිදු ආකාරයකින් සක්කාය ඉස්මතු නොවී සක්කාය නිරෝධ ප්‍රතිපදාව සිදුවී අනිත්‍ය දුක්ඛ අනත්ත නිබ්බාන සුඛ (සක්කාය නිරෝධ) සම්මර්ශනය යෙදී ඇත.  

එමෙන්ම තම තමන් දහමට අනුව සිදුකරන ප්‍රතිපදාවක් තුළින් අර්ථයත් ධර්මය ත් ඉස්මතු වන ආකාරය පිළිබඳව තවත් දේශනා තුළ පැහැදිලි වේ. 

ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො සත්‍ථා ධම‍්මං දෙසෙති අඤ‍්ඤතරො වා ගරුට‍්ඨානියො සබ්‍රහ‍්මචාරීයථා යථා භික‍්ඛවෙ තස‍්ස භික‍්ඛුනො සත්‍ථා ධම‍්මං දෙසෙතිඅඤ‍්ඤතරො වා ගරුට‍්ඨානියො සබ්‍රහ‍්මචාරී තථා තථා සො තස‍්මිං ධම‍්මෙ අත්‍ථපටිසංවෙදී ච හොතිධම‍්මපටිසංවෙදී ච. තස‍්ස අත්‍ථපටිසංවෙදිනො ධම‍්මපටිසංවෙදිනො පාමොජ‍්ජං ජායතිපමුදිතස‍්ස පීති ජායතිපීතිමනස‍්ස කායො පස‍්සම‍්භති පස‍්සද‍්ධකායො සුඛං වෙදෙතිසුඛිනො චිත‍්තං සමාධියතිඉදං භික‍්ඛවෙ පඨමං විමුත‍්තායතනං..” 

“මහණෙනි, මෙහි භික්ෂුවකට ශාස්තෘන් වහන්සේ  හෝ වෙනත් ගුරු වූ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්‍මය දේශනා කරයි. ඔහු ඒ ඒ ආකාරයට එම ධර්මයේ අර්ථය ද ප්‍රතිවේද කරයි. ධර්මය ද ප්‍රතිවේද කරයි. ඔහුට අර්ථය ප්‍රතිවේද කිරීමෙන් ධර්මය ප්‍රතිවේද කිරීමෙන් ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිතයා ට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තාගේ කය සැහැල්ලු වේ. කය සැහැල්ලුවීමෙන් සැප විදී. සැප සහිත සිත සමාධිමත් වේ. මෙය පළමු විමුක්තායතනයයි. ” (විමුක්තායතන සූත්‍රය – අ.නි. 3) 

මෙම සූත්‍රයේ සඳහන් පරිදි, සජ්ඣායනා කිරීම, ධර්ම දේශනය, ධර්මය සිතීම, භාවනා කිරීම යන කරුණු තම තමන් සිදුකරන විට ශ්‍රද්ධාව ඉස්මතු වෙමින් සිදු කරන උපපරීක්ෂණයෙන් අර්ථය තුළින් එතෙර වන ප්‍රතිපදාව වන ධර්මය ප්‍රායෝගිකව සිදු වේ 

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සක්කාය නිරෝධ වන ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාවකි. එම ප්‍රතිපදාව ඒ ඒ අය අදාළ ක්‍රමවලින් යෝනිසෝ මනසිකාරය ඉපදීමෙන් උපදවා ගනී. මේ ආකාරයට යමෙකුට බුදුවරුන්ට ආවේණික ධර්මය ඇසෙන විට එම දහමේ එතෙරවන ප්‍රතිපදාත්මක ගුණය මනාව ප්‍රඥාවට දර්ශනය වේ. ඒ දහමේ ගුණය පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 29

බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී සැබෑ ම එතෙරවන මඟ පෙන්වා වදාළ සේක. එලෙස පෙන්වූ දහම බුදුවරුන්ට ම ආවේණික දහමකි. බුදුවරුන්ට පමණක් ආවේණික දහම සාමුක්කංසික දේශනය වේ. එහි අර්ථාන්විත භාවය ගුණ සයකින් ඉස්මතු කර ඇත.  

ත්‍වං මහානාම ධම‍්මං අනුස‍්සරෙය්‍යාසි, ‘ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී’ති 

“මහානාම නුඹ ධර්මය සිහිකරහි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨිකය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, පච්චත්තං වේදිතබ්බෝ විඤ‍්ඤූහිතිය.” (මහානාම සූත්‍රය – අ.නි. 6) 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු ලෝකයේ  ව්‍යවහාරික වූ වචනයන් නොවේ. ධාතු  ආයතන, ස්කන්ධ, පටිච්චසමුප්පාදය, බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඉන්ද්‍රිය ධර්ම යනු ලෝකය තුළ ව්‍යවහාරික වූ අර්ථාන්විත වචන වෙයි. මේ වචන ම භාවිත කරමින් අර්ථය ත් ඉස්මතු කරමින්, විමසීමේ චින්තනයක් ඇති කරවීමට උපකාර වන ලෙසට, සක්කායෙන් එතෙර වන ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. සක්කාය නිරෝධ වන ආකාරය එසේ පෙන්වූ වචන තුළින් මනාව ප්‍රකට ව ඇත. එමෙන් ම එය ප්‍රතිපදාවක් ලෙස ට අත්දැකීමක් යෙදෙන ආකාරය ද කාලයකට අයිති බව ඉක්මවීම ද ප්‍රායෝගිකව සිදු වේ. කාලයක් පැනවෙන්නේ ම ස්වකීයත්වය වන සක්කාය නිසා ම ය. සක්කාය නිරෝධ වන විට කාලයක පැනවීම ද නොයෙදේ. ඒ බව නිරුත්තිපථ සූත්‍රයේ දී ඉස්මතු වේ. 

“යං විඤ‍්ඤාණං අතීතං නිරුද‍්ධං විපරිණතං, ‘අහොසී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අහොසී’ති –පෙ-” 

යං භික‍්ඛවෙරූපං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති, න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’තියා වෙදනා –පෙ– යා සඤ‍්ඤා –පෙ– යෙ සඞ‍්ඛාරා –පෙ– යං විඤ‍්ඤාණං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති. න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති. ” 

යං භික‍්ඛවෙරූපං ජාතං පාතුභූතං, ‘අත්‍ථී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අත්‍ථී’ති –පෙ-” 

“ මහණෙනි, යම් රූපයක් අතීතද, නිරුද්ධ ද, විපරිනාම ද, එයට අහෝසි වූයේ යැයි ගිනීමට යයි. -පෙ-” 

“මහණෙනි, යම් රූපයක් හටනොගත්තේ ද, පහළ නොවූයේ ද, එයට වන්නේය යයි ගිනීමට යයි. එයට  ‘වන්නේය’ යැයි හැඳින්වීමකි. එයට ‘වන්නේය’ යයි ප්‍රඥප්තියකි. එයට තිබේ යැයි ගිනීමක් නැත. එයට අහෝසි වූයේ යැයි ගිනීමක් නැත. යම් වේදනාවක් -පෙ- යම් සංඥාවක් -පෙ- යම් සංස්කාරයක් -පෙ- යම් විඥානයක් හටනොගත්තේද, පහළ නොවූයේ ද, එයට වන්නේය යයි ගිනීමට යයි. එයට  ‘වන්නේය’ යැයි හැඳින්වීමකි. එයට ‘වන්නේය’ යයි ප්‍රඥප්තියකි. එයට තිබේ යැයි ගිනීමක් නැත. එයට අහෝසි වූයේ යැයි ගිනීමක් නැති.” (නිරුත්තිපථ සූත්‍රය – ස.නි. 3) 

රූපුපාදානක‍්ඛන්‍ධොවෙදනුපාදානක‍්ඛන්‍ධොසඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධොසඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධොවිඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධොඉමෙ ඛො ආවුසො විසාඛ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතාති.” 

“ඇවැත් විශාකයෙනි, රූප උපානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේවා සක්කාය යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.” 

(චූළවේදල්ල සූත්‍රය – ම.නි. 1) 

 
සක්කාය යනු පංච උපාදානස්කන්ධයට නමකි. එනම් සක්කායක පැවැත්ම කාලය ම බව නිරුත්තිපථ සූත්‍රයෙන් පැහැදිලි වේ. තථාගත දහම තුළ එම කාලය ඉක්මවීම හොඳින් ම ඉස්මතු වී ඇත. එමෙන්ම එම දහම තුළට ම යොමුවීමේ ස්වභාවයක්, ශ්‍රද්ධාව පාදක වීමෙන් හා සත්‍ය ගවේෂී බවින් සිදු වේ. ‘එව බලව’ ඇවිත් බලන්න යන වග, ප්‍රායෝගිකව දහම තුළින් ප්‍රතිපදාවට අනුගත වීමෙන් සිදු වේ. එම දහමට ම පමණක් ළං වී බැලීම උප පරීක්ෂණ යන කරුණින් ද හොඳින් පැහැදිලිය. එය දහමේ ඇති ගුණයකි ප්‍රඥාව ඇති අය පමණක් ඒ ඒ නුවණ ඇති ආකාරයට දැකිය හැකි ලෙස දහම යෙදී ඇත. මෙය ද වචන තුළට කොටු  වී එය උතුම් ලෙස නො ගැනීමකි (පදපරම). ධර්මය පෙන්වන ව්‍යවහාරික ලෝකයේ වචනයන් එනම් අධිවචනය පද උතුම් වන කිසිවෙකුට එතෙර වන ප්‍රතිපදාවට කිසිදාක යොමු විය නොහැක.  

අර්ථය උපපරීක්ෂණය කරන විට මේ ආකාරයට වන ප්‍රතිපදාවක් ධර්මය තුළින් ඉස්මතු වී එතෙර වන මාර්ගය ප්‍රායෝගිකව ම සිදුවේ. ඉතාම ගරු කරන, තථාගත ගාම්භීර ධර්මය පවසන ආචාර්ය උතුමන් ළඟට ගොස් නොවැටහෙන අර්ථය විමසන විට දී, මේ ආකාරයට ධර්මය තුළින් ම සක්කාය නිරෝධ ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඉස්මතු වේ.  

අර්ථය උප පරීක්ෂණය කිරීම යනු සම්පූර්ණයෙන්ම එතෙරවෙන ප්‍රතිපදාවට බැස ගැනීම බව ඉහත පෙන් වූ කරුණු තුළින් පැහැදිලි වේ. මෙසේ සිදුවන අර්ථ උප පරීක්ෂණය ‘යෝනිසෝ මනසිකාරය’ වේ. යෝනිසෝ මනසිකාරය පිළිබඳව විස්තරයට ප්‍රථම එහි ඇති වැදගත් කම පිළිබඳව පහත සූත්‍ර තුළින් වටහා ගනිමු.  

පරතො ච ඝොසොයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදායාති.” 

ඇවැත්නි, අනුන්ගෙන් ඇසෙන ශබ්දය ත් (සද්ධර්ම ශ්‍රවණය), යෝනිසෝ මනසිකාරය ත් යන මේ කරුණු දෙක ප්‍රත්‍යයෙන් සම්මා දිට්ඨිය උපදී” (මහා වේදල්ල සූත්‍රය – ම.නි. 1) 

සුරියස‍්ස භික‍්ඛවෙඋදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තංයදිදං අරුණග‍්ගංඑවමෙව ඛො භික‍්ඛවෙභික‍්ඛුනො අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං යොනිසොමනසිකාරසම‍්පදා.” 

“මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, හිරු උදාවීමට පෙර මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරක් වේ ද, භික්ෂුවකට ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමය මේ පූර්ව නිමිත්ත වේ.”  (යෝනිසෝ සූත්‍රය – ස.නි. 5-1) 

“සද‍්ධම‍්මසවනං පරිපූරං සද‍්ධං පරිපූරෙති, සද‍්ධා පරිපූරා යොනිසොමනසිකාරං පරිපූරෙති, යොනිසොමනසිකාරො පරිපූරො සතිසම‍්පජඤ‍්ඤං පරිපූරෙති” 

“සද්ධර්ම ශ්‍රවණය පිරීමෙන් ශ්‍රද්ධාව පිරේ. ශ්‍රද්ධාව පිරීමෙන් යෝනිසෝ මනසිකාරය පිරේ. යෝනිසෝ මනසිකාරය පිරීමෙන් සති සම්පජඤ්ඤය පිරේ.” 

(අවිජ්ජා සූත්‍රය – අ.නි. 6) 

ඉහතින් පෙන්වා ඇති සූත්‍ර අනුව ධර්ම මාර්ගයට අවශ්‍ය ප්‍රධාන ම කාරණය වන්නේ යෝනිසෝ මනසිකාරය බව පැහැදිලි වේ. එම නිසා යෝනිසෝ මනසිකාරය පිළිබඳව සවිස්තරව පැහැදිලි කරගත යුතු වේ. යෝනිසෝ මනසිකාරය පිළිබඳව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු. 

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 30